Saturday, October 23, 2010

සිතුවමක්

සිතුවම
කෝ සත්‍යා?

පංතිය සිසාරා බැලූ මම, කිසි දිනක හිස් නොවන ඉදිර පෙළ කෙලවරෙහි අසුන හිස්ව තිබෙනු දැක විමසීමී. දැරියන් එකිනෙකා ගෙ මුහුණු බලමින් ඉගි මරන්නට විය. අට වෙනි ශ්‍රේණියේ දැරියන්ගේ වයසත් අනුව ඔවුන්ගේ ඉගිය තේරුම් ගත් මම තවත් කිසිත් නොවිමසා පාඩමට පිවිසියෙමි.

සහජ කුසලතා රැසක් කරපින්නාගත්  සත්‍යා ගේ අඩුව මා හට වරිනවර දැනුනේ, පාඩම ඉදිරියට ගෙන යාමට වැදගත් ප්‍රශ්න අසමින්  කවදත් ඇය මා හට දෙන සහයෝගය නිසා විය හැක.
නවාතැනේ හුදකලා වූ හැන්දෑවේ නැවතත් සත්‍යා මා සිතට රිංගුවේ මීට සති දෙකකට පෙර ඇය මා අත තැබූ සුභ පැතුම් පතත් සමගිනි.

මුල් පිටුවේ කුරුළු ජොඩුවක් සිත්තම් කර ඇගේ කලාත්මක අකුරින් “සුභ මංගලම්“ යන්න ලියා තිබණේ මල් වරුසාවක් ද සමගය. ඇතුලත පිටුවේ මගේ රුව අපූරුවට සිත්තම් කර තිබුණු අතර ඒ මත වූ වදන් පෙළ ඇගේ ඇදීමේ මෙන්ම ලිවීමේ හැකියාවද පෙන්වන්නක් විය.

පළමු කාලච්ඡේදය අවසානයේ සිසුවියන් ඇමතූ මම. මගේ මංගල උත්සවය වෙනුවෙන් සති දෙකක් නිවාඩු ගන්නා බැවින්, මගේ කාලච්ඡේද වලදී නිශ්ශබ්දව දී ඇති පැවරුම් කරන ලෙසට උපදෙස් දුනිමි.

“ෂා.. හරිම ලස්සනයි. Very creative! කොයි වෙලාවෙද සත්‍යා මේක හැදුවේ? අද උදේනේ මම වෙඩින් එක ගැන කිව්වෙ.“

පාසල අවසානයේ මා පසුපස දුවවිත්, මා අත තැබූ සුබපැතුම් පත බැලූ මම ඇය අගයමින් පැවසුවෙමි.

“හැම පීරියඩ් එකකදිම ටික ටික කලා.“

දක්ෂ සිසුවියක් වන ඇය පවරන කාර්යය වහා නිම කරයි. හැම කාලච්ඡේදයකදීම පැතුම්පතේ කොටසක් හෝ කිරීමට ඇයට කාලය ඉතිරිවන්නට ඇත.එහෙත් සමහර ගුරුවරුන් සිය කාලච්ඡේදයේදි සිසුන් වෙනත් කාර්යයක නියලෙනු නුරුස්සයි.

“ඉතිහාසය පීරියඩ් එකේදිත්?“

කවුරුත් දන්නා පරිදි ඉතිහාසය උගන්වන විශ්‍රාම යාමට ආසන්න, ගවරම්මාන ගුරුතුමිය දැරියන්ගේ සුළු වරදකට වුව වහා කිපී දඩුවම් දෙයි.

“අපොයි නෑ මැඩම්“ දැරියගේ පිළිතුර විය.

අතීත ස්මරණයෙන් මිදුණු මම සුභ පැතම් පත පසෙකින් තබා මගේ කාර්යයේ නිරත වීමී.
-------------------------------------------------------------------------------------------------------------සතියක් ගත විය. එහෙත් සත්‍යා ගේ  අසුන හිස්ය.

“ පවිත්‍රා කේක් කෑල්ලක් කාලම දවස පටන් ගන්නකෝ?“

පළමු කාලච්ඡේදය නිදහස් එකක් වූ බැවින් ගුරු විවේකාගාරයට ගිය මා හට කේක් බන්දේසියක් දිගු කලේ සත්‍යා ගේ පංති බාර ගුරුතුමියයි.

“ ආ ! සත්‍යා ඇවිල්ලද?“ මට වහා සත්‍ය සිහිපත් විය.

“සත්‍යා................?  මේ සෙව්වන්දි ගෙ බර්ත්ඩේ එක කියලා ගෙනත් දුන්නේ. “

“ සත්‍යා ගියේ කෙක් දෙන්නෙත් නැතුවනේ“

“ඇයි ? සත්‍යා අස්වුනාද? මට කවුරුවත් කිව්වෙ නෑනේ. කොහාටද ගියේ? “ මම විමසිලිමත් වුනේ නොඉවසිල්ලෙනි.

“ කොහේ යන්නද? කොල්ලා එක්ක පැනල යන්නැති.“

“ මොන කොල්ලෙක්ද? පොඩි ළමයින්ට කතා හදන්න එපා නිර්මලා.“ මට මාව පාලනය කර ගත නොහැකිවිය.

“හරි හරි කේන්ති ගන්න එපා. ඔයා සිද්ධිය දන්නෙ නෑ නේ“

“මොකක්ද සිද්ධිය? මම හිතුවෙ ඒ ළමයා ස්කෝලෙ එන්නෙ නැත්තෙ attain වෙලා කියලා“

“ සත්‍යා පූසි වගේ හිටියට හරි බඩුවක් තමයි“ කේක් බදුන පසෙකින් තැබූ නිර්මලා ලොකු කතාවකට මුල පිරුවාය

“සත්‍යා ගෙ පොතක් ඇතුලෙ කොල්ලෙක්ගෙ පින්තූරයක් තිබිලා ගවරම්මාන මැඩම්ට අහුවෙලා“ මා වෙතට නැඹුරු වුන ඇය තරමක් සෙමෙන් පැවසුවාය.

“ඉවරයි“ මට ඉබේම කියවිණි.

“ ඉවරයි කියන්නෙ? ඔයා ඒක දැනගෙන ඒ ළමයට උදව් කලාද?“ නිර්මලා විමතියෙන් විමසුවාය.

“ පිස්සුද? මම කිව්වෙ මිසිස් ගවරම්මාන ට අහුවුනා නම් ළමයා ඉවරයි කියලා ආයෙ හොයන්නෙ බලන්නෙ නෑනේ පංතිය ඉස්සරහ ළමයගෙ ආත්මෙම කන්න ඇති“

“හොයන්න බලන්න දෙයක් නෑනෙ ඔක්කොම අහුවුනාට පස්සෙ“

“ පිංතූරයක් ළග තිබ්බ පලියට ඒ සත්‍යා ගෙ boy friend කියල කියන්නෙ කොහොමද?“ මට සත්‍යා නිදොස් යැයි සිතේ.

“සත්‍යා ගෙ අත් අකුරින් ඒ පිංතූරෙ ‘I love you’ කියල ලියලා තිබුණා. එයා  පිළි ගත්තා ඒක ඇන්දෙත් ලිව්වෙත් එයා කියලා. තව මොනවද?“

“ හරි සත්‍යා පිළිගත්තද. ඒ එයාගෙ boy friend කියලා?“

boy friend නෙවෙයි නම් වෙන කෙනෙක්ගෙ පින්තූරයක් ඇදලා I love you !  කියලා ලියයිද?“

“ දැන් ඉතින් සත්‍යා ඉස්කෝලෙන් අස් කරලද?“

“අස් කලේ නෑ අම්මා හරි තාත්තා හරි එක්ක එන්න කිව්වා. එදා ඉදන් කෙල්ල නෑ“

“ අම්මා තාත්තා කොයිනද ඒ ළමයට? අම්මා නෑ. තාත්තා රට. අත්තම්මා එක්ක ඉන්නෙ“

“ ඇත්තද? Class teacher වෙලා මමවත් දන්නෙ නෑ ඒ වගක්. ඔයා ඉතින් ළමයින්ගෙ හැමදේම හොයනවනෙ“

“ අපි හැමදේම හොයන්න ඕන තමයි................. කොහෙද දැන් ඒ පින්තූරෙ?“ නිර්මලාගෙ කේක් කෑල්ල කුණු බක්කියට දැමූ මම අසුනින් නැගිට්ටෙමි.

“අන්න ගවරම්මාන මැඩම් ළග. ඇයි මොකක්ද කරන්න හදන්නෙ? ඇගේ වදන් නොඇසූ කන්ව මම කාමරයෙන් පිටවීමී.

නිර්මලා කෙරෙහි මසිතෙහි පිලිපන්නේ පිළිකුලක් සහ කෝපයකි. ඇය පංති භාර ගුරුතුමිය ලෙසට මීට වඩා වගකීමෙන් මෙම ප්‍රශ්නය දෙස බැලිය යුතුව තිබිණි. සත්‍යා සංවේදී දැරියකි. මෙම ගැටළුවට ඇය කෙසේ මුහුණ දෙන්න ඇත්ද? ඇයට පෙම්වතෙක් සිටිය නොහැක. සංවේදී වුවත් ඇය බොළද නැත. පවුලේ වැඩිමලා ලෙසට ඇය වගකීමෙන් කටයුතු කරයි. බාල සොහොයුරෙකුගේ ගැටලුවකට විසදුමක් පතා ඇය මා සොයා ආ අයුරු සිහිපත් වේ. එම අවස්ථවේ දී ඇය ක්‍රියා කලේ ඔහු ගේ මව ලෙසිනි.

....................................................................................................................................................................
මේ school boy කෙනක් නෙවෙයිනේ?

පැන්සලින් සිතුවම් කර තිබූ එම සිත්තම බැලූ සැනින්ම මට කියවිණ.

“ ඔව් ඉස්කෝලෙ ළමයි මූණ පුරා රැවුල වවන්නෙ නෑනෙ. ඉස්කෝලෙ ළමයෙක් නොවුන පලියට මේ සත්‍යා ගේ පෙම්වතා නෙවෙයි කියන්න බෑනේ. ඔන්න මිස් පවිත්‍රා....සොරි මිසිස් මංචනායක සත්‍යාව සුද්ධ කරන්න විතරක් ලෑස්ති වෙන්න එපා. මේ කොල්ලා ඉස්කෝලෙ ළමයෙක් නොවුන එක වඩාත් භයානකයි. ලොකු මිනිහෙක් ගෑණු ළමයෙක් රවට්ටගන්නෙ මොකටද කියල මම ඔයාට කියල දෙන්න ඕන නෑනෙ. අපිට අනික් ළමයිනුත් හදාගන්න බැරිවෙනවා මේ වගේ ළමයි නිසා.“

ගවරම්මාන ගුරුතුමිය දිගින් දිගටම කියවයි.

“ ඉතින් මැඩම් මේ ගැන සොයා බැලුවද? පාසල් විනය පාලිකා හැටියට මැඩම්ට සොයා බලන්න විශේෂ අයිතියකුත් තියෙනවා නේ“

කෝපය පාලනය කරගත් මම වැඩිහිටි ගුරුවරියගෙන් ගරුසරුව විමසීමී.

“ කොහේ හොයල බලන්නද? ඊට පස්සෙ ඉදන් කෙල්ල ඉස්කෝලෙ එන්නෙ නෑනේ“

“ඒක නිසා තමයි සොයල බලන්න ඕන“ කටට ආ දෙය නොපවසා ගිලගත් මම සත්‍යා වෙනුවෙන් කල යුත්තේ කුමක් දැයි කල්පනා කරන්නට වීමී.

“ඔයාලා දැක්කද ඒ පිංතූරේ?“

සත්‍යා ගේ යෙහෙළියන් දෙදෙනෙක් කැදවූ මම විමර්ෂණය ඇරඹීමී.

“නෑ මැඩම් අපි දැක්කෙ නෑ. ගවරම්මාන මැඩම් සත්‍යාට බැනලා බැනලා ඒක අරන් ගියා“

“ඔයාලා සත්‍යා ගෙන් ඇහුවෙ නැද්ද?“

“ඇහුවා. මොනවත් කිව්වෙ නෑ. එයා දවසම අඩ අඩා හිටි‍යෙ. ඊට පස්සෙ පංතියට ආව මැඩම්ලා සර්ලා ත් එයාට බැන්නා“

“ මට ඇත්තම කියන්න. මේක එයාට කරන උදව්වක්. එයා ට යාළු පිරිමි ළමයෙක් හිටියද?“


“ නෑ මැඩම් අපිට නම් එහෙම දෙයක් ගැන කියල තිබුනෙ නෑ. අපිට නම් හිතා ගන්නවත් බෑ. එයා ඒවට කැමති නෑ.“

“ඔයාලා එයාගෙ ගෙදර ගිහින් බැලුවෙ නැද්ද?“

“අපිට අම්මලා යන්න දෙන්නෙ නෑ. ඒ සිද්ධිය දැනගත්තට පස්සෙ.“

“මට සත්‍යා ගෙ ලිපිනය දෙනවද?“

....................................................................................................................................................................
මම සත්‍යය සොයා සත්‍යා සොයා ගියෙමි.

“මේ සත්‍යා ගෙ අත්තම්මා වෙන්නැති. මම සත්‍යා ගෙ ඉස්කෝලෙ මැඩම් කෙනෙක්. සත්‍යා ඉස්කෝලෙ ආවෙ නැත්තෙ ඇයි කියල බලන්න ආවේ.“

දොර සීනු හඩට ප්‍රතිචාර ලෙස ගෙතුලින් මතුවූ මැදිවියේ කාන්තාවට පැවසීමී.

“ අනේ එන්න මැඩම්. දුවට උන හැදිලා. දැන් සතියකටත් වැඩියි.  බහිනවා නගිනවා. මම ඉස්කෝලෙට ඇවිත් කියන්නයි හිටියේ.“

“වාඩිවෙන්නකෝ මැඩම්. මම එක්ක එන්නම්.“

“එපා! මම එන්නම්“ මම ඇය පසුපස ගියෙමි.

“මෙන්න පුතේ ඔයා බලන්න ඉස්කෝලෙ මැඩම් කෙනෙක් ඇවිල්ලා!“

යහනේ වැතිර හුන් සක්‍යා මා දුටු විගස කොට්ටයේ මුහුණ හොවා ගත්තාය.

ඇය අසළින් අසුන් ගත් මා ඇගේ හිස පිරිමදින්නට වීමී. සැලෙන දෙවුරෙන් ඇය හඩන බව වටහාගත්තෙන්, ඇයට හඩන්නට ඉඩදී ඇගේ කුඩා කාමරය සිසාරා බලන්නට වීමී. බිත්තිය වසා ඇති ඇගේ විවිධාකාර සිතුවම් නැරඹූ මගේ දෑස, මේසය මත සිටුවා තිබූ සුවිශේෂි සිතුවමක් මත නැවතුණි. දෙපසින් කුඩා මල් බදුන්  දෙකක් තබා ඇය එම සිතුවමට හරසර දක්වා තිබුණි.පැන්සල් තුඩින් සිත්තම් කර තිබූ සිතුවමේ පහළින් ‘I love you’ යන්න ලියා තිබුණි.

“ ඔව් ඉස්කෝලෙ ළමයි මූණ පුරා රැවුල වවන්නෙ නෑනෙ. ඉස්කෝලෙ ළමයෙක් නොවුන පලියට මේ සත්‍යා ගේ පෙම්වතා නෙවෙයි කියන්න බෑනේ. ඔන්න මිස් පවිත්‍රා....සොරි මිසිස් මංචනායක සත්‍යාව සුද්ධ කරන්න විතරක් ලෑස්ති වෙන්න එපා. මේ කොල්ලා ඉස්කෝලෙ ළමයෙක් නොවුන එක වඩාත් භයානකයි. ලොකු මිනිහෙක් ගෑණු ළමයෙක් රවට්ටගන්නෙ මොකටද කියල මම ඔයාට කියල දෙන්න ඕන නෑනෙ. අපිට අනික් ළමයිනුත් හදාගන්න බැරිවෙනවා මේ වගේ ළමයි නිසා.“

පාසල් විනය පාලිකා, ගවරම්මාන ගුරුතුමියගේ හඩ මගේ දෙසවන් නින්නාද වන්නට විය.

“මේ මගේ පුතා, දූ ගෙ තාත්තා. දුවමයි මේ චිත්‍ර අදින්නෙ.“

මගේ දෑස ලැගුම් ගත් තැන හදුනාගත් සත්‍යා ගේ මිත්තණිය,  එම සුවිශේෂි සිතුවම ගැන පැහැදිලි කලාය.
මගේ දෙපා සිට හිස දක්වාත් හිස සිට දෙපා දක්වාත් දැවෙන්නට විය. අහිංසක දැරියට අවිචාරි වැඩිහිටියන් අතින් බරපතල වරදක් සිදුවී ඇත. වහා නිවැරදි කල යුතු බරපතල වරදක් සිදු වී ඇත.