Friday, May 30, 2025

 

සුරතලිය

“පුතා, සුදූ මගෙ ළඟ. ඇවිල්ලා අරන් යන්න“

මවගේ හඬ......!

වහා ඇඳෙන් නැගිට්ට මම දෑස පිසදා විදුලි පහන දැල්වූවෙමි. නිදි වර්ජිත රාත්‍රීන් තුනකට පසු නින්ද ළඟා වූවා පමණි.

“අයියා ඔයාටත් අම්මාගෙ කට හඬ ඇහුන ද? “

කාමරයට පිවිසි මා සොයුරු මා අසළින් වාඩි වෙමින් ඇසුවේය. ඔහුට ද මවගේ හඬ ඇසී තිබේ.

“ සුදූ අම්මා ළඟ කියන්නේ එයත් මැරිල ද?

කදුළු සැඟවීමට ඉවත බලා ගත්තත් ඔහුගේ හැඬුම්බර හඬ මට සැඟවිය නොහැක. දින කිහිපයක සිට නොනැවතී ගලන කදුළු අළුත් වූවා සේය.

 

මවගේ දේහය නිවසට රැගෙන විත් සාලයේ තැන්පත් කළ අවස්ථාවේ සිට මව අසළින් නොසෙල්වුන සුදූ කිසිවෙකුටවත් ඇයව එතනින් ඉවත් කිරීමට ඉඩ නුදුන්නාය. නොකා නොබී දින තුනක් මවගේ දේහය අසළ වැතිරී සිටි අපේ සුරතලිය පෙට්ටිය වැසීමට පෙර කිසිවෙකු බෙල්ලෙන් අල්ලා ඉවතට දමනු දුටුවෙමි. සෙනඟ අතරින් පලාගිය ඇය සෙවීමට ඒ කාර්ය බහුල අවස්ථාවේ අපට ඉඩක් නොලැබුණි.

 

අවසන් කටයුතු නිමකර නිවසට පැමිණි අප දෙදෙනාගේ ප්‍රථම කාර්යය වූයේ සුදූ සෙවීමයි. දින තුනක තෙහෙට්ටුව, හිත පෙලන දුක, දරාගෙන යා හැකි හැමතැනම ගොස් සුදූ සෙවූ මුත් අපහට ඇය සොයා ගැනීමට  නොහැකි විය.

මියගිය අපේ මව මැදියම් රැයේ සිහිනෙන් ඇවිත් අප දෙදෙනාම අමතා  සුදූ ගැන දුන් පණිවිඩය සත්‍යයක් විය හැකි යැයි අප දෙදෙනාගේම විශ්වාසයයි.

“මැරිලා වෙන්න බෑ. එහෙමනම් ඇවිත් අරන් යන්න කියන්නේ නැහැනේ.“

මම උනන කදුළු පිසදමමින් පැවසීමී.

“ එයා තවත් අපි ගැන බලනවා.“

මල්ලි බිඳුණු හඬින් පැවසුවේ දිගු සුසුමක් ද සමඟිනි.

“අපි හෙට උදෙන්ම යමු. මේ වෙලාවට එතෙන්ට යන්න බැහැනේ“

මුවින් නොදොඩා එකිනෙකාට කදුළු සඟවමින් දීර්ඝතම පැය කිහිපයක් නිදිවර්ජිතව ගෙවූ අප දෙදෙනා, යාන්තමින් මහ පොළවට හිරු එබෙද්දීම කනත්ත බලා පිටත් වුනෙමු. තාමත් වියළී නැති මවගේ සොහොනේ තෙත පස් කන්ද මත වකුටුව නිදන සුදූ අපට දුර සිටම හඳුනාගත හැකි විය.

“ඊයේ හවස ඉඳන්ම ඔය පූසා ඔතන. මම කන්න දුන්නා. කෑම දිහා බැලුවෙවත් නෑ.“

අපි සොහොන අසළට යද්දී මුරකරු පැවසීය.

“සුදු ! අපි ගෙදර යමු නේද?“

අපගේ පැමිණීමට කිසිම ප්‍රතිචාරයක් නොදක්වමින් සීතල පස්කන්ද මත නිදන සුදූගේ හිස අතගාමින් මල්ලී පැවසීය.

“සුදු මැණික අයියලා එක්ක ගෙදර යන්න.“

“අම්මා!

පහත් වී සුරතලියගේ හිස අතගාමින් සිටි මල්ලී එකවරම හිස ඔසවා වටපිට බැලීය.

“ඔයාටත් ඇහුන ද?“

ඔහුගේ උරහිසට අතක් තැබූ මම විමසීමී. මල්ලීටත් මටත් පමණක් නොව සුදූටද ඒ හඬ ඇසුණු සෙයකි. අකමැත්තෙන් මෙන් කුසීතව පස් කන්දෙන් තැඟිටගත් සුදූ අප දෙපා වෙළන්නට විය.

“ඔව් අම්මා සුදූ ට කතා කරා“

නොනැවතී ගලන මල්ලීගේ කදුළු බිඳු සුදූ ගේ සුදු බූල් මතින් ලිස්සා ගොස් තෙත පස් කන්ද යට සැඟව ගියේය.

“අම්මේ අපි සුදූ ව බලා ගන්නවා“

සුරතලිය දෝතටගත් මම පැවසීමී.

 

Sunday, February 28, 2021

 ඉල්ලීමක්!

බිළාලයෙක් වී ඉපදුන මෙමා          හට

දඩයම උරුමයකි පෙර භවයේම     සිට

දිවියම කැප කලේ දඩයම්        කලාවට                

අහිමි ද ඉපයු දඩයම රස         විදින්නට

 

දවසම රැක්කා අඹ ගහයට             ලේනුන්ට

බෙල්ලත් කොරවුණා කුරුමානමෙ        දිගට

අඳුරෙම පැන්නෙ අතු අග සිටි           ලේනාට

දඩයම නිසා තැබුවේ දිවි                    පරදුවට

 

අමු මස් ඉවට මුවඟට කෙල             ඉනූවත්

දඩයම සමඟ සෙල්ලම තව             කලාවක්

මොහොතින් නිමවුණේ මා විඳි ඒ      සුවයත්

ඩැහැගෙන ගියා මගෙ දඩයම නැතුව තෙතක්

 

දවසෙම සවිය කැපුවා මෙනි ගඟට               ඉනී

මම දුක්වෙන අයුරු ඔවුනට නොපෙණුනා මෙනී

ලේනාගෙ දිවිය සරිකරනට වෙහෙස           වුණී

ඔබ පින් කළේ මගෙ හිත පුරවා             දුකෙනී

 

දෙන දේ කකා හුරතල් වෙවි         හිඳින්නට

හැකිමුත් සුවෙන් මෙම නිවසේ      වසන්නට

ආසයි මටත් උපයාගෙන              බුදින්නට

ඉඩදෙනු මැනවි බළලෙක් මෙන්   වසන්නට



Wednesday, October 21, 2020

 

කොරෝනා වෙන් බේරෙමු!

හිතවතුනේ මෙහෙ බලන්න         -           මම කියනා දේ අහන්න

වසංගතෙන් බේරෙන්නට             -           මේ උපදෙස් පිළිපදින්න

 

එපා නිකන් ගමන් යන්න             -           නිවසට වී කල් ගෙවන්න

ඕනෙම නම් තනිව යන්න             -           මුව වැස්මක් පැළඳ යන්න

මීටරයක් දුර තියන්න                   -           මිතුරු ඇසුර නවත්වන්න

එපා මුහුණ අතගාන්න                 -           නිතර දැත් සෝද ගන්න

සබන් යොදා සෝදා ගන්න          -           හොඳින් දෑත් සෝදා ගන්න

 

වෙළඳ පොළෙන් ගෙනෙනා බඩු   -           හොඳින් සෝදලා තබන්න

සෝදන්නට බැරි දේවල්               -           තද අව්වේ වේලා ගන්න

තැපැල් පියුං ගේන ලියුම             -           විෂ නාශක ඉහළා ගන්න

චූන් පාන් ගේන කෑම                  -           අවන් එකේ රත් කරන්න

200 ටම රත් කරන්න                  -           රත් කරලා කන්න ගන්න

 

පිටත ගොසින් ආව විගස             -           හොඳින් දෑත් සෝද ගන්න

පිරිසිදු දෑතින් පමණක්                  -           දොර අගුලට අත තියන්න

පාද වැසුම් එළියෙ තබමු              -           ඇඳපු ඇඳුම් සෝදා දමමු

නාලා පිරිසිදු වුනු පසු                   -           පවුලේ අය වැළඳ ගනිමු

නාලා පිරිසිදු වුනු පසු                   -           පවුලේ අය වැළඳ ගනිමු

 

 

ගුරු උපහාරයක්!

මම විමුක්ති.

ඌත් විමුක්ති.

ඒ අපි කොට කලිසම් අඳින අන්තිම අවුරුද්ද.

මැඩම් අපේ පන්ති භාර.

මැඩම්ට මතක ඇති අපි දෙන්නා වලියක් දාගෙන ඔෆීස් එකේ දණගහගෙන හිටියා.

විමුක්ති අහිංසකයි වලි දාගන්න එකෙක් නෙවෙයි. එත් මගේ විහිළුවකට ඌට කේන්ති ආවා. අතේ තිබ්බ බ්ලේඩ් එකෙන් මගෙ බෙල්ල කපන්න හැදුවා. මම අත දික්කරපු හන්දා මගේ අත කැපුණා. මම උගෙ බ්ලේඩ් එක උදුරගෙන උගෙ අත කැපුවා.

සිද්ධිය වුණේ පස්වන පීරියඩ් එකේ. ගණන් සර් පොඩ්ඩක් පරක්කු වුණ වෙලේ. සර් ආව පමාව වැහෙන්නත් එක්ක සද්දෙ දාගෙන.

මොහොතකින් ලේ පෙරාගත්තු අපි විදුහල්පති කාමරයේ. මැඩම් එනකොට අපි හිටියේ කිලිටි දණිස් වලින් ඔෆීස් එකේ ටයිල් වල සීතල බල බලා.

කවුද බ්ලේඩ් එක ගෙනාවේ?

කවුද ඉස්සෙල්ලම කැපුවේ?

ඇයි කැපුවේ?

ප්‍රින්සිපල් මැඩම්ගේ කිසිම ප්‍රශ්නයකට අපි නෙවෙයි උත්තර දුන්නෙ. මොන වලි දාගත්තත් අපි කවුරුවත් පාවා දෙන්නෙ නෑ.

නඩුව විසඳන්න බැරි තැන තමයි මැඩම්ව කැඳෙව්වේ.

‘එන්න කියාපියව් මුන්ගෙ පන්ති භාර ගුරුවරයට.‘

ප්‍රින්සිපල් මැඩම් ගෙරෙව්වෙ අපි පස්සෙන් ඇවිල්ලා ජනෙල් වල එල්ලිලා හිටපු කොලු රෑනට.

මගේ ඇඟ හීතල වෙලා ගියා. බයට නෙවෙයි දුකට. අවුරුද්ද පටන් ගන්නකොටම අපි ප්‍රතිඥා දුන්නා ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් හොඳම පන්තිය තෑග්ග අපි ගන්නවා කියලා. විමුක්තිටත් ඒ දේම හිතෙන්න ඇති. මම දැක්කා උගෙ කඳුලක් ටයිල් බිමට වැටිලා බොඳවෙලා යනවා. ඌ තමයි මැඩම්ට ගොඩක්ම ආදරේ. උදෙන්ම ඉස්කෝලෙ ඇවිල්ලා පන්තිය අතු ගාන්නෙ ඌ. දවස පුරාම පන්තිය කිලිටි වෙන්න දෙන්නෙ නැතුව බලා ගන්නෙත් ඌ. මැඩම්ව සතුටු කරන්න.

මැඩම් එනවා. අඩි සද්දෙ ඇහුනා. අපේ කන් වලට ඒ අඩි සද්දෙ හොඳට හුරුයි. අපි ඔළුව ඉස්සුවෙ නෑ.

‘විමුක්ති! ඔයාලා?‘

මැඩම් පොදුවේ අපි දෙන්නම ඇමතුවා. ඒ හඬේ තිබුනෙ විශ්මයක්. දුකක්. අපි ඔළුව ඉස්සුවෙ නෑ.

‘මුන්ගෙ කටවල් වල පිට්ටු. එකෙක් වත් කතා කරන්නෙ නෑ. කවුද බ්ලේඩ් එක ගෙනාවේ?

කවුද ඉස්සෙල්ලම කැපුවේ? ඇයි කැපුවේ? එකෙක්වත් කියන්නෙ නෑ.

කවුද මුන්දෙන්නගෙන් නරකම එකා?‘

ප්‍රින්සිපල් මැඩම් ඇහුවෙ අපේ මැඩම්ගෙන්.

‘දෙන්නම හොඳයි‘

මැඩම් ගත් කටටම උත්තර දුන්නා.

‘දෙන්නම හොඳයි! දෙන්නම හොඳ නම් මුන්ව කැපුවෙ පිටින් ආව එකෙක්ද?‘

ප්‍රින්සිපල් මැඩම් අතේ තිබුන වේවැල වන වන අඩි බිම ගහලා කෑගැහුවා.

‘ඔව් මැඩම් මම කිව්වෙ ඇත්ත. මේ දෙන්නම හොඳයි‘

මැඩම් ආයෙමත් කිව්වා.

‘මේක ක්‍රිමිනල් කේස් එකක්! මම මුන් දෙන්නව පොලීසියට බාර දෙනවා‘

ප්‍රින්සිපල් මැඩම් හැරුනෙ ෆෝන් එක ළඟට යන්න වෙන්න ඕනෑ.

‘එපා මැඩම්. මම නඩුව අහන්නම්. මට බාර දෙන්න. මගේ පන්තියෙනේ‘.

මැඩම් කළබලෙන් කිව්වා.

ප්‍රින්සිපල් මැඩම් ආපහු හැරුනා.

‘හොඳයි ! නඩුව අහලා මට මුන් දෙන්නා අතේම නඩු වාර්තාව එවන්න ඕනෑ‘.

‘හොඳයි මැඩම්‘

අපි මැඩම් පස්සෙ ඇදුනා.

‘ඔය මූණ අතපය සෝදගෙන පන්තියට එන්න‘

ඔෆිස් එකෙන් එළියට ආව ගමන් මැඩම් කිව්වා.

අපි පන්තියට ආවම මැඩම් අපිට නඩු වාර්තාව දුන්නා ප්‍රින්සිපල් මැඩම්ට ගිහින් දෙන්න.

වැඩේ වැරදි වුනත් අපි අතරමඟදි ඒක කියෙව්වා.

“අද දින විවේක කාලයේදී  9 A ශ්‍රේණියේ විමුක්ති ප්‍රසාද් සහ විමුක්ති තරංග යන ශිෂ්‍යයන් බ්ලේඩ්  වලින් සෙල්ලම් කිරීමට ගොස් අත් කපාගෙන ඇත. නැවතත් එවැනි දේ නොකරන බවට ඔවුන් පොරොන්දු විය.“

මැඩම් ට මතක ඇති අපි ඒ අවුරුද්දෙත් හොඳම පන්තිය තෑග්ග ගත්තා.

ඒත් කවදාවත් ඒ නඩුව නම් ඇහුවේ නෑ.

පිටිපස්සෙ පේළියෙ හිටපු විමුක්ති මගේ ළඟට දැම්මා. මැඩම් උගන්වන වෙලාවෙදි හැමදාම මගෙ පෙළපොත ගන්නවා. මට විමුක්තිගෙ පොත බලා ගන්න කියනවා. පවරන හැම වැඩක්ම අපි දෙන්නට එකට පවරනවා. අපි දෙන්නා හැමදාම එකම කණ්ඩායමේ. පස්සෙ තමයි තේරුනේ අපි යාළු කරවන්න මැඩම් එහෙම කළේ කියලා.

අපි තවමත් හොඳ යාළුවෝ.

මම දැන් විවාහකයි. මට පුතෙක් ඉන්නවා. මගේ පුතාටත් මැඩම් වගේ ගුරු දෙවිවරු ලැබේවා කියලා තමයි ප්‍රාර්තනා කරන්නෙ.

මැඩම්ට දීඝායූ!