නූඩ්ලස්
“ඇයි පුතේ?”
හවස පංතිය
ඉවරවෙලා අම්මා එක්ක යන්න එනකන්, මාත් එක්කම පන්ති කාමරයේ වාඩිවෙලා ඉඳලා, අම්මගෙ
වාහනයේ සද්දෙට මටත් වැඳලා බෑග් එකත් උස්සගෙන දුවපු අශේනි ගියපයින්ම ආපහු එන සද්දෙට
බල බලා හිටපු පොතෙන් හිස උස්සන්නෙ නැතුවම මම ඇහුවා.
සුදුපාට
කැන්වස් යුවල මගේ මේසෙ ළඟ නැවතුනා. ලොකු පාර්සලයක් දෑතින්ම උස්සගෙන ඇය මගේ මේසේ ළඟ
හිනාවෙවී හිටගෙන හිටියා. පුංචි ඇස් දෙක සතුටින් බබළනවා.
“මොනවද පුතේ?”
“නූඩ්ලස්! මම මැඩම්ට නූඩ්ලස් ගෙනාවා.”
ඇය පාර්සලය
මට දිගු කරමින් කිව්වා.
“ඇයි පුතේ ම..ට?”
“අපේ තාත්තට නූඩ්ලස් ෆැක්ට්‍රිරි එකක් තියෙනවානේ.
මම අම්මට කියලා තිබුනේ මැඩම්ට නූඩ්ලස් දෙන්න ඕන කියලා. ඉතින් අම්මා අද එනකොට අරන්
ඇවිත්.”
“ගන්න මැඩම්! “
හුරතලේට හිස
ඇල කරගත්තු ඇය පාර්සලය දිගුකරගෙනම කිව්වා.
“මෙච්චර
ගොඩක්? මම මොනවා කරන්න ද?”
පුංචි සිත
නොරිද්දා තෑග්ග ප්‍රතික්ෂේප කරන ආකාරයක් හිතමින් මම ඇහුවා.
“ඉතින් මැඩම් රසට හදලා අයියලා දෙන්නත් එක්ක කන්න.
කනකොට මැඩම්ට මාව මතක් වෙයිනේ.”
ඇය කිව්වෙ
ඇස් නටවමින්.
“අනේ කෙල්ලේ! කොහොමටත් මට ඔයාලා මතක්වෙනවා.”
“මැඩම් ඉතින් හැමදාම කියනවානේ අපි පහලොස්දෙනා කවදාවත් අමතක වෙන්නෙ නෑ කියලා.”
කෙල්ල
කියනකොට මටත් ගණදෙවි නුවණ පහල වුණා.
“හරි පුතේ ඕක දෙන්නකෝ.”
මම දෝතින්ම
ඇගේ පාර්සලය අරන් මේසෙ උඩින් තිබ්බා.
“අපි මෙහෙම වැඩක් කරමුද?”
පුංචි ඇය
උරහිසින් අල්ලා මගේ තුරුලට ගන්නා ගමන් ඇගේ මුහුණට එඹුන මම ඇහුවා.
“කොහොම වැඩක් ද?“
මගේ සිරුරට
හේත්තු කරගත් හිස ඔසවමින් ඇය ඇහුවේ නොඉවසිල්ලෙන්.
“ලබන සිකුරාදා හවස පන්තියෙදි අපි ඔක්කොම නූඩ්ලස්
කමු!”
ඇගේ ඇස්
මට්ටමට මගේ ඇස් සමවෙන්න ඇය ඉදිරියේ වාඩිවෙමින් මම ඇහුවා.
“හ..රී ෂෝක්!”
මගෙන් මිදුණ
ඇය වටයක් කැරකී උඩ පැන්නෙ අත් පොඩි තලමින්.
“මම නූඩ්ලස් ගේන්නම්. මැඩම්! ......... ඔක්කොටම
ඇතිවෙන්න නූඩ්ලස් පැකට් කීයක් ඕනද?”
ඇය ඇහුවේ
කල්පනාකාරීව.
“එපා. එපා. තව නූඩ්ලස් ගේන්න එපා. මේ තියෙන්නේ.”
“එතකොට මැඩම්ට?”
“මමත් එදාට කනවනේ”
“අයියලා දෙන්නට?”
“එයාලා ඉස්කෝලෙ ඇරිලා ආවම කන්න ටිකක් තියමු.”
“මේ ටික ඇතිවෙයිද?”
“ඇති ... ඇති. එක පැකට් එකක් පස් දෙනකුට විතර ඇති.
ඉතින් පැකට් 3 ක් ඇති.”
“තුන් වරක් පහ පහලොවයිනේ. අපි ඉන්නවනේ දහ ....
අටක්. අයියලා දෙන්නත් එක්ක.”
ඇය පැවසුවේ
ඇඟිලි ගනිමින්.
“හරි. අපි බලමුකෝ මෙතන පැකට් කියක් තියෙනවද කියලා.”
මම කිව්වෙ
අශේනි ගෙනා පාර්සලය ලිහමින්.
“ආ... මෙතන පැකට් හයක් තියෙනවා. හය වරක් පහ?”
“තිහයි. තිස් දෙනෙකුට ඇති.”
ඇය කිව්වෙ
දැස් විශාල කරගෙන.
“ඒක තමයි මම කිව්වේ. තව එළවළුත් දමනකොට තව වැඩි
වෙනවා.”
“කොහෙද අපි දැන් මේක හදන්නේ? පන්තියෙද?”
“ක්වාටර්ස් එකේ හදමු.”
“මැඩම්ගෙ කිචන් එක ළමයි ජරා කරයි නේද? එදා බීම
හදන්න ගිහින් දැක්කනේ.”
ඇය පැවසුවේ
මඳ නොරිස්සුමක් මුසුවුන පසුතැවිල්ලකින්.
“ඒක අතපසුවීමක් නේ පුතේ! අපි පරිස්සමින් වැඩ
කරමුකෝ. මගේ තැන නේ. ටිකක් හැඩි වුනාට කමක් නෑ. පිරිසිදු කරගන්න පුළුවන්.”
“හරි... හරි අපි සිකුරාදට ඒ වැඩේ කරමුකෝ. මතක්
කරන්න බ්‍රහස්පතින්දාට ළමයින්ට කෑම ගේන්න එපා කියන්න. දැන් පුතේ ඔයා යන්න අම්මා
බලාගෙන ඇතිනේ.”
............................................................................................................................................................
“මොකද ළමයි අද අමුතු සතුටකින්!”
බ්‍රහස්පතින්දා
පන්තියට ගිහාම මම දැක්කෙ ළමයින්ගේ අමුතු ම ප්‍රබෝධයක් අශේනි ගෙ ඩෙස්ක් එක වටේ
හිටපු ළමයි තම තමන්ගෙ තැන් වලට දිව්වෙ මම ගියා ට පස්සෙ.
“අපි හෙට නූඩ්ලස් හදනවනේ මැඩම් ඒකයි සතුටු.”
කිව්වෙ
කටකාර කොල්ලෙක්
“කනවට වඩා හදන්න සතුටුයි වගේ.”
“ඔව් මැඩම් අපි බඩුත් ගේන්න බෙදා ගත්තා.”
“මොනවද බඩු?”
“අපි හයදෙනා බිත්තර තුන ගානේ ගේනවා තම්බලා.”
අකිල
නැගිටලා පන්තියේ පේලි දෙකක් පෙන්නලා කිව්වා.
“අපි එළවළු කපලා ගේනවා.”
ඒ තව කිහිප
දෙනෙක්.
මුළු
පන්තියම එක එක ඒවා බෙදාගෙන. මගේ හිතේ ඇතිවුනේ නොසතුටක්.
“ඇයි ළමයි මේ ඔයාලා ගෙවල් වලට කරදර කරන්නේ? අශේනි!
ඔයා කාටවත් බල කලේ එහෙම නැහැනේ?”
මම ටිකක්
සැරෙන් ඇහුවා. අශේනි, ඇක්වා එකෙන් ඉස්කෝලෙ එන පන්තියෙ ඉන්න පොහොසත්ම කෙල්ල.
පන්තියම පාලනය කරගෙන ඉන්නෙ. මාත් එක්ක හුරතල් වුනාට කටත් ටිකක් සැරයි.
“ඔයාලාට අශේනි බල කලාද මොනවහරි බාර ගන්න කියලා?”
“අනේ නෑ මැඩම්. අපි අම්මලට කිව්වා මැඩම් අපිට
සිකුරාදා නූඩ්ලස් දෙනව කිව්වා කියලා. අම්මලා කතා වෙලා තමයි අපිට ඒවා ගේන්න කිව්වේ.”
හැමෝම
වෙනුවෙන් උත්තර දුන්නෙ ෂාහිල්. ඕක කරන්න ඇත්තෙත් ෂාහිල්ගේ අම්මා. පන්තියේ කරන හැම
ශ්‍රමදානයක්ම අනිත් අම්මලත් එකතු කරගෙන කරන්නෙ ෂාහිල් ගෙ අම්මා.
“නූඩ්ලස් දෙන්නෙ මම නෙවෙයි අශේනි. මේකත් අහගන්නකෝ!
කාටහරි ඔය බාරගත්තු දේවල් ගේන්න බැරිනම් ගෙනාවේ නැතුවට කමක් නෑ. අම්මලාට කරදර
කරන්න නම් එපා. මමත් මොනවාහරි දෙන්න ඕනනේ.”
“ඇයි මැඩම් කිචන් එක දෙන්නෙ අපිට? මැඩම්ගෙ ගෑස්,
මැඩම්ගෙ කරන්ට් එක, මැඩම්ගේ භාජන. ඒ ඇති.”
ඒ දැනුවත්
කිරීම අශේනිගෙන්.
“ඇයි?
අපි කාටහරි පිඟානක් ගේන්න අමතක වුනොත් ඒකත් මැඩම්ගෙන්නේ.”
පන්තියම
හිනැස්සුවෙ සමිත.
“මේ අහන්නකෝ ළමයි! කලින් දවසේ එළවළු කපලා ගෙනාවම
හවස් වෙනකොට සවුත්තු වෙයි නේද?”
“නෑ..නෑ මැඩම්. අපි කලින් දවසෙ එළවළු කපාගෙන එන්නෙ
නෑ. හවසට අම්මලා ගෙනත් දෙනවා.”
ආයෙමත්
ෂාහිල් පැහැදිලි කරනවා. අම්මගෙ වගේම සංවිධාන ශක්තිය ෂාහිල්ටත් නොඅඩුව තියෙනවා. ඒත්
වැඩේ දුර දිග ගිය එක ගැන මගෙ හිත නොසතුටෙන්.
“අයියෝ ළමයි ඔයාලා නම්........ මාව ගස් යවලා තමයි
පස්ස බලන්නේ. අම්මලා මට බනිනවා ඇති.”
“නෑ.. නෑ මැඩම් ට බනින්නෙ නෑ. ඒක අපේ අම්මලා
කැමැත්තෙන් කරන වැඩක් නේ. වැඩට යන අම්මලාගෙ ඒවා වැඩට යන්නෙ නැති අම්මලා බෙදා
ගත්තලු. අපේ අම්මා කිව්වෙ.”
වහා
ඉදිරිපත් වුනේ ෂාහිල්.
“අපේ අම්මා වැඩට යන නිසා කිරි අම්මා අරන් එනවා
කිව්වා.”
ශානිකා
කියද්දි,
“අපෙත් කිරි අම්මා ගේනවා කිව්වා.”
මව විදේශගත වෙලා
ඉන්න සමීර කිව්වා.
“අපේ නම් අක්කි ගේනවා කිව්වා.”
“අපේ නැන්දි ගෙනත් දෙන්නම් කිව්වා.”
“අපේ පුංචි ගේනවා කිව්වා. එයා රිසල්ට්ස් එනකන්
නිකන්නේ ගෙදර ඉන්නේ.”
“අයියෝ අශේනි බලන්නකෝ අපි දෙන්නා සෙල්ලමට කරන්න
හදපු දේ ගිය දුර!”
ඇත්තටම මම
විස්සෝප වුණා. මට තිබුනේ මේක ළමයින්ට අන්තිම මෙහොතේ කියන්න.
“කමක් නෑ මැඩම්. එයාලට ඕන වුණේ මැඩම් කරන වැඩේට
හවුල් වෙන්න.”
අශේනි කවදත්
මම විස්සෝප වෙන වෙලාවට ඔය විදිහට හිත හදනවා.
“ඩෝන්ට් වොරී මැඩම්. ඉට්ස් අවර් ප්ලෙසර්.”
තමන්ට පහසු
භාෂාවෙන් මාව සනසන ඒ මගේ තාත්තා. ෂොහාන්
............................................................................................................................................................
“මොකක්ද අනේ අද ඔයාගේ පන්තියෙ ළමයින්ට වෙලා
තියෙන්නේ? වෙනදා හොඳට පාඩමට අවධානය දෙන ළමයි ටික අද වෙන ලෝකෙක.”
හයවන
කාලච්ඡේදය අවසානයේ විවෙකාගාරයට ආපු වජිරා ඇහුවා. ගුරුවරුන්ගෙ ප්‍රියතම පන්තිය තමයි
මගේ 7E ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය. පහලොස් දෙනාම දක්ෂයි
වගේම විනය ගරුකයි.
“ආ. මටත් ඒක නෝට් වුණා. අද ළමයි හරිම නොසන්සුන්.”
ගණිත
ගුරුවරිය වගේම සිංහල ගුරුවරියත් පැමිණිළි කළා.
“අදට සමාව දෙන්න. අද විතරයි ඔහොම.”
මම කතාකළේ
දරුවන් වෙනුවෙන්.
“හත, අට උගන්වන්නම බැරිවෙයි.” මටම කියාගත්තු මම කඩිනමින් විවේකාගාරයෙන්
පිටවුනේ මගේ පන්තියට. නොසන්සුන් ළමයින්ට දෙන ක්‍රියාකාරකමක් හිත හිතාමයි ගියේ.
පන්තියට
ගියපු මම නූඩ්ලස් හදන්න නොඉවසිල්ලෙන් ඉන්න දරුවොත් එක්ක නූඩ්ලස් හදන්න පටන් ගත්තා.
“අපි අද හවසට නූඩ්ලස් හදනවනේ දැන් රෙසිපි එක
ලියමු.”
එක එක්කෙනාට
ඉස්සරහට ඇවිල්ලා ඉන්ග්‍රෙඩියන්ට්ස් ලියන්න අවස්ථාව දීපු මම පැත්තක ඉඳන් එයාලගෙ
ස්පෙලින්ස් වැරදි නිවැරදි කලා. නූඩ්ලස් හදන පිළිවෙලත් ඒ විදිහටම ලිව්වා. කොහොමහරි
කාලච්ඡේද දෙක ඉවර වෙනකොට ළමයි හිතෙන් නූඩ්ලස් සර්ව් කරලත් ඉවරයි.
............................................................................................................................................................
“අපි ආවේ නූඩ්ලස් ටික හදලා දෙන්න කියලා.”
පොරොන්දු
වුන කලමනාත් අතින් ගත් අම්මලා මගේ නිල නිවස ළඟ. කවදත් වගේ ෂාහිල්ගෙ අම්මා හැමෝම
වෙනුවෙන් කතා කලා.
“නෑ ... නෑ නූඩ්ලස් හදන්නෙ අපි. නේද මැඩම්? “
ළමයි කෑ
ගැහුවා.
“ඔව්. එයාලා හදපුවාවේ.”
“යේ! “
ළමයි අත් උස්සලා කෑ ගැහුවා.
කුස්සියට
සෙම්ප්‍රතිෂ්‍යාව හැදෙන්න කලින් මම වැඩ බෙදුවා.
“ඔයාලා නූඩ්ලස් පැකට් කඩන්න.”
“ඔයාලා ගෙනාව එළවළු වෙන වෙනම භාජන වලට දමන්න.”
“ඔයාලා බිත්තර පොතු අරින්න.”
“ම්.. ඔය කණ්ඩායම හැමෝගෙම පිඟන් එකතු කරගෙන
ඇවිල්ලා සෝදන්න.”
සාරි පොට
ඉනේ ගහ ගත්තු මම එක ලිපක වතුර මුට්ටිය රත්වෙන්න තියලා අනිත් ලිපේ තෙල් තාච්චිය
තිබ්බා.
එක එක්කෙනා
මම කියන කියන වෙලාවට තම තමන්ගෙ අතේ තිබුන එළවළු තෙල් තාච්චියට දැම්මා.
අන්තිමට හැමෝගෙම
සහයෝගයෙන් රසම රස නූඩ්ලස් හැදුනා.
නූඩ්ලස්
කාලා කුස්සිය අස්කරලත් දැම්මට පස්සේ අපි සුපුරුදු පන්තිය පටන් ගත්තා. වෙන සිකුරාදා
1.45 සිට 3.15 වෙනකන් පවත්වන හවස පන්තිය 2.30 සිට 4.30 වෙනකන් පැවැත්වුවා.
“අනේ! තැන්ක්
යූ මැඩම්.”
වෙනදට පාරේ
ඉඳන් හෝන් කරන අශේනිගෙ අම්මා පන්ති කාමරයටම ඇවිල්ලා කිව්වා.
“ඇයි තෑන්ක්ස් කරන්නේ?”
“මගේ දරුවගේ හිත නොරිද්දා තෑග්ග ගත්ත විදිහට.”
“මැඩම් තෑගි ගන්නෙ නැති බව මම දැනගෙන හිටියා. ඒත්
අශේනිගෙන් බේරෙන්න බැරි වුණා. එයාගේ ලොකු විශ්වාසයක් තිබුණා මැඩම් තෑග්ග ගනියි
කියලා. එයා කිව්වා මැඩම් එයාට ආදරෙයි. ඒ නිසා එයාගෙ තෑග්ග ගන්නවා කියලා. මම එදා කා
එකට වෙලා බලාගෙන හිටියේ අශේනි ගිය පයින්ම පාර්සල් එක උස්සගෙන ආපහු අඬ අඬා එයි
කියලා. මම එයාගෙ හිත හදන්න කියන ඒවත් හිත හිතා හිටියේ.”
“අපි ලබන සිකුරාදටත් මොනවහරි හදමු ද?”
දුවගෙන
ඇවිත් අම්මගේ අතේ එල්ලුන අශේනි ඇහුවෙ මගෙන්.
“තව නූඩ්ලස් පැකට් තුනක් ඉතුරුයි.”
මම
හිනාවෙමින් කිව්වෙ දකුණු අතේ ඇඟිලි තුනක් උස්සලා.
“අපි ලබන සතියෙත් නූඩ්ලස් හදනවා!”
පන්තියෙන්
එළියට පැනපු අශේනි පන්තියෙන් පිටවෙලා යන යාළුවන්ට ඇහෙන්න කෑගහලා කිව්වා.