Friday, May 30, 2025

 

සහෝදර මෙහෙයුම

“අරකි ඇවිල්ලා“

ජනේලෙ ළඟම ඉන්න එකීගෙන් චිට් එකක් ආවා.

“බලන්න එපා. ගබඩාව පිටිපස්සෙ ඉන්නවා“

දෙවෙනි චිට් එකත් ආවා. පළවෙනි කාලච්ඡේදය. සර් උද්භිද විද්‍යාව උගන්වනවා. මොකද කරන්නේ?. අපි තුන්දෙනා මූණෙන් මූණ බලා ගත්තා.

හිටපු ගමන් මැද හිටපු එකීට මහා කැස්සක් හැදුනා. හරිම අමාරුයි. අපි දෙන්නා ලෙඩාව  දෙපැත්තෙන් අල්ලගෙන  එළියට අරන් ආවා. දැන් ඒකිට සනීපයි. අපි තුන්දෙනාටම හිනා. දැන් ඉතින් ගබඩාව පිටිපස්සෙ ඉන්න එකී පහළට ගන්න එපායැ. අඩි පහක් විතර උස ඉවුරක්. වෙලාවට අපි කලින් දවසේ කටු කම්බි වැට ගැලවෙච්ච පනින්න පහසු තැනක් හොයා ගත්තා. අපි තුන්දෙනා එනවා දැකපු ඒකි වැට අයිනට ආවා. වීරයෝ වගේ අපි තුන්දෙනා එතනට ගියාට ඒකිව ගන්න ක්‍රමයක් නම් හිතා ගන්න බෑ.

“පොත් ටික දාපන්“

අපි තුන්දෙනාගෙන් ස්ථානොචිත ප්‍රඥාව වැඩියෙන්ම තියන එකී කිව්වා.

උඩ ඉන්න එකී පොතෙන් පොත අපිට දමනවා. අපි පරිස්සමින් ඒවා අල්ලලා බිමින් තියනවා. බැරිවෙලාවත් මේ පොතකට මොනවාහරි වුනොත් අපි ඉඳලා හමාරයි කියලා අපි තුන්දෙනාම දන්නවා.

පොත් ටික නම් ගත්තා. දැන් කොහොමද මේකි ගන්නේ? අතින් අල්ලලා ඇදලා ගන්න පුළුවන් වුනා නම් හරි.

“කොල්ලෙක් අඬගහගෙන එමු ද?“

පොඩ්ඩක් හිටපන්

නැණවතී ගෙන් තවත් සැළසුමක්!.

හොරට ලෙඩ වුන එකී එතන තියලා අපි දෙන්නා ආපහු පන්තියට ආවා. ඒ එනකොට කෝකටත් අපි දෙන්නා බිම තිබුන පොත් වලින් දෙකක් අරන් ආවා.

“කෝ ලෙඩා?“

අපි දකින කොටම සර් ඇහුවා.

“සික් රූම්“

ඕනදේකට උත්තරයක් තියෙන මගේ කටින් පිටවුණා.

“ සර් සරත්ටයි සමන්ටයි ප්‍රින්සිපල් සර් යන්න කිව්වා.“

අපි දෙන්නා කතා වෙලා ආව විදිහට, පරක්කු වෙලා ඉස්කෝලෙ එන අපේ එකී  පිටිපස්සෙන් ගන්න සැළැස්ම දන්න අපේ කල්ලියේම කොල්ලො දෙන්නෙක්ගෙ නම් මම සර් ට කිව්වා.

සර් අපේ පණිවඩය හයියෙන් කියනකොටම, නිතරම කාර්යාලයෙන් කැදවීම් ලැබෙන, ශිෂ්‍යනායක තනතුරු දරණ, උන් දෙන්නා නැගිට්ටා.

අපි දෙන්නයි උන් දෙන්නයි දෙපැත්තට මාරු වෙද්දි අපි ලියාගෙන ආව චිට් එක මම එකෙක්ගෙ අතේ ගුලි කලා.

අපි දෙන්නා ඉඳගෙන ආපහු පාඩමට ලෑස්ති වුණත් බලාගෙන හිටියෙ අරුන් දෙන්නා යන දිහා. ඉස්සරහින්ම ගිය එකා ඔෆීස් එකට යන්න පඩිපේළිය පැත්තට හැරුණා. මම පොඩ්ඩක් සලිත වුණා. මේ මැට්ටො දෙන්නා ඔෆීස් එකට යයිද? අපි දෙන්නා මූණෙන් මූණ බලා ගත්තා. කරන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බෑ. නැණවතීත් එළියෙ නෙ. පිටිපස්සෙන් ගිය එකා පඩිපෙළ නඟින්න කලින් අපි දිහා බැලුවා.

“කියවපන්“

හස්ත මුද්‍රාවෙ කෙල පැමිණි මම කොලේ කියවන්න කියලා හස්ත මුද්‍රාවෙන් කිව්වා. මගේ හස්ත මුද්‍රාව තේරුම් ගත්ත ඌ අතේ ගුලිවෙලා තිබුන කොල කෑල්ල දිගෑරලා කියෙව්වා. ඌට වැඩේ තේරුණ බව අපි දිහා බලලා හස්ත මුද්‍රාවෙන්ම කිව්වා. ඌත් මම වගේ ම හස්ත මුද්‍රාවෙ ප්‍රවීනයෙක්. හොඳ එකා!. ඌ පඩිපේලිය මුදුනෙ හිටපු අනිකාවත් අඬගහගෙන අනිත් පැත්තට හැරුණා. අම්මෝ! මම පපුව අතින් අල්ල ගත්තා. මගෙ ළඟ හිටපු එකීත් බිම බලාගෙන ලොකු හුස්මක් ගත්තා.

සර් බෝඩ් එක පැත්තට හැරෙන වෙලාවක් බලලා අරකිගෙ පොත් වලින් අපි දෙන්නා අරන් ආව පොත් දෙක ඒකිගෙ ඩෙස්ක් එක උඩින් තිබ්බා.

ටික වෙලාවකින් ඔෆීස් එකට කැඳවපු අපේ සඟයො දෙන්නා පන්තියට ආවා. උන් දෙන්නා අතෙත් පොත පොත තිබුණා. ඒත් එක්කම අපේ ලෙඩයි වැටෙන් එහා පැත්තේ හිටිය එකීයිත් ආවා. ඒකි අතෙත් එක පොතක් තිබුණා. ලෙඩා නම් ගිය විදිහටම හිස් අතින් ආවා.

“ආ මෙයා කො‍හෙද හිටියේ?“

ඒකි දැකපු ගමන් සර් ඇහුවා. කවුරු හැංගුවත් සර්ගෙන් ඒකිව හංගනවා බොරු. උද්භිද විද්‍යාවට වැඩියෙන්ම ලකුණු ගන්න, සර් අලුත් පාඩම පටන් ගන්න කලින්, පෙර දවසෙ පාඩමෙන් අහන ප්‍රශ්න වලට පැන පැන උත්තර දෙන ඒකිව කොහොමද සර්ගෙන් හංගන්නේ? මගෙ ළඟ හිටපු එකී මට වැලමිටෙන් ඇන්නා. අපි දෙන්නම දන්නවා බොරු කියන්න ගිහිල්ලා හැමදාම අනාගන්න මේකි අදත් අනාගන්න බව. දැන් ඉතින් මෙහෙයුම් කණ්ඩායමම සීරුවෙන් හිටියොත් හොඳයි වගේ.

“ ඔෆීස් එකේ. සර්. අ.. අර මැගසින් එකේ වැඩේ ට....“

අප්පෝ ඇති යන්තම්.  ගොත ගගහ හරි පිළිගන්න පුළුවන් බොරුවක් කිව්වා. දුර දකින නැණවතී ළඟ හිටියනේ. ඒකිට කල් ඇතුව බොරුව ගොතලා දෙන්න ඇති. විද්‍යා සඟරාවේ සංස්කාරක මණ්ඩළ‍යේ ඒකි ඉන්න බව සර් දන්නවා. හොඳ වෙලාවට සික් රූම් එකත් ඔෆීස් එක ළඟ තිබුණේ.  

 

 

 

No comments:

Post a Comment

ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)