රා
“අම්මා!
අම්මා! .....
බලන්න අම්මා
මේ තාත්තගෙ මළජරාව ෆ්‍රිජ් එකෙන් තියන්නෙ නැතුව වෙන කොහෙන් හරි තියන්න බැරිද?“
ගෙදර උදේට
නියමිත වැඩ ටික ඉවර කරලා ෆෝන් එකත් අරන් මිදුලෙ කෙලවරේ මැංගුස් ගහයට කොන්ක්‍රීට්
බංකුවෙ පත්තරේ බල බලා ඉන්න තාත්තා අසළින් වාඩිවුනේ නිම්මානරතියේ කතාවක් කියවන්න
හිතාගෙන. මූණුපොතට ලොග් වුණා විතරයි...
කන්නයි
බොන්නයි විතරක් කුස්සියට යන, නිවාඩු දවසට දවල් වෙනකන් නිදාගන්න මගේ එකම අක්කා
මිදුලට ආවේ මහා ලොකු ගෝරානාඩුවකුත් එක්ක.
“මම සල්ලි
දීලා ගෙනා ෆ්‍රිජ් එකේ මගේ දේවල් තියන්න බැරිද?“
පුරුදු
විදිහට පත්තරෙන් ඔළුව උස්සන්නෙ නැතුවම තාත්තා ඇහුවා.
“උදේම කූල්
වතුර ටිකක් බොන්න ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයක් අරන් කටේ හලා ගත්තා.
ඊක්! ඈයියා!
ඒකේ තිබුනෙ
වතුර නෙවෙයි. මට වමනෙත් ගියා.“
මම හිසෙන්
ඉඟි කර අහපු ප්‍රශ්නෙට අක්කා උත්තර බැන්දෙ මූණ බෙරිකරගෙන. ශීතකරණයේ ඇති හැමදේම ගැන
අවබෝධයක් ඇති මට අක්කා කියන්නෙ මොන ජරාවක් ද කියලා තේරුණා. මුවට නැගුණ සිනාව
කොහොමද ඉතින් පාලනය කරන්නේ?
“ආ!
හිනාවෙන්න. පොඩ්ඩි, ඔයත් මේකට වග කියන්න ඕනෑ. ගෙදර හැමදේම මැනේජ් කරන්නේ ඔයා.
කුස්සියෙ හැම බෝතලේකම, කුප්පියකම ලේබල් අලවන ඔයාට බැරි වුණාද ෆ්‍රිජ් එකේ බෝතල් වල
ලේබල් අලවන්න. එහෙමනම් උදේ පාන්දර මම ඔය ජරාව බොන්නෙ නෑනේ“
එවර අක්කගේ
චෝදනාව මට.
“උදේ පාන්දර!“ දවල් වෙලා අවදි වුන අක්කට තාත්තගේ
උපහාසයත් පත්තරේටමයි.
“ඉතින්
මොනවද ඔය බෝතලේ තිබුණේ?“
මෙතෙක්
කිසිම දෙයක් නෑසූ කන්ව මල් පැල වලට වතුර දමමින් හිටිය අම්මා හරිම සන්සුන්ව ඇහුවා.
“තිබුණෙද?
තිබුනේ මෙන්න මෙයාගෙ රා“
අක්කා
වේගයෙන් සහ කෝපයෙන් අඩියකුත් බිම හප්පා පැවසුවේ තාත්තා දෙසට සුරත දිගු කරමින්.
“රා!“
“රා!“
අම්මාගේ
අතින් වතුර බටේ පාත් වුණෙත් තාත්තගේ පත්තරෙන් හිස එසවුනෙත් එකවර. මෙවර පාලනය කරගත
නොහැකි වූ මගේ හිනාව පුපුරා හැලුණා.
“පොඩ්ඩි!
........නවත්තපන් හිනාව! කෝ ඒ බෝතලේ? මොනවද ඒකෙ තිබුණේ?“
තාත්තා දෙසට
රකුසු බැල්මක් වීසි කරපු අම්මා වතුර බටේ බිම අතෑරලා සටනට පිවිසෙන අභීත සෙන්පතියෙක්
වගේ දකුණු පය පෙරට ගෙන ගෙරෙව්වෙ මට.
තාත්තගේ
අහිංසක මුහුණේ කිසියම් බියක් සටහන් වුණත් ඒ දැස් දීප්තියෙන් බැබලුණේ තරුණකළ බිව්
රා මතක්වෙලා කියලයි මට හිතුණේ.
“පොඩ්ඩි!
....... හිනාව නවත්තලා කියනවා කොහෙන් ද ෆ්‍රිජ් එකට රා?
අම්මා
හිතනවා ඇත්තේ හැමවෙලේම තාත්තගේ පැත්ත ගන්න මම රා බෝතලේදිත් තාත්තගේ පැත්ත ගත්තා
කියලා වෙන්නැති.
“ ඒක දුඹුරු
පාට ජින්ජර් බියර් බෝතලයක් නේද මිලි ලීටර් පන්සීයේ? කළුපාට ගම් ටේප් කෑල්ලක් අලවලා
තිබුණා මූඩිය උඩ?
මම ඇහුවෙ
අක්කගෙන්.
“ඔව්. මිලි
ලීටර් පන්සීයේ දුඹුරු පාට ජින්ජර් බියර් බෝතලයක් නම් තමයි. ඒත්..ම්...ගම් ටේප් .......
කෑල්ලක් ... නම් ..... මම දැක්කෙ නෑ“
අක්කා
කෙඳිරි ගෑවා.
“ඒකෙ තිබුණේ
රා නෙවෙයි.“
නඩුව දුර
දිග යන්න කලින් මම කිව්වා.
“එහෙනම්
මොනවද?“
දෑත ඉනේ
රඳවාගත් අම්මා ඇහුවෙ නොඉවසිල්ලෙන්.
“රා තමයි.
මේ බලන්න අම්මා ගඳ?
අක්කා එයාගේ
තෙමුණ ටී ෂර්ට් එක අම්මට පෑවා.
“රා ත් වගේ
තමයි .... ගඳනම්....“
අක්කාගේ
ඇඳුමට එඹුණු අම්මා කිව්වෙ නහය අකුලගෙන.
“නෑ. රා
නෙවෙයි. ඒකෙ තිබුණේ මම ආප්ප පිපෙන්න දමන පොල් වතුර“
“ඒක මිසක්“
සටනෙන් පසු
බාපු අම්මා හැරිලා ගිහින් ආපහු වතුර බටේ අතට ගත්තා. අක්කා ගස්සගෙන ගෙට ගියා.
“ඇත්තමද
පොඩ්ඩි?
රා බොන්න
බලා හිටපු තාත්ත මගේ පැත්තට නැමිලා හෙමින් ඇහුවා. මම හිස ඉහළ පහළ යවලා එයාගෙ සතුට
නැතිකරා. දිග හුස්මක් හෙළපු තාත්තා පත්තරේ අතට ගත්තා.
බංකුවේ
හරිබරි ගැහුණු මම ආයෙමත් මුහුණු පොතට එඹිලා නිම්මානරතිය හොයන්න පටන් ගත්තා.
No comments:
Post a Comment
ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)