Wednesday, October 21, 2020

 

කොරෝනා වෙන් බේරෙමු!

හිතවතුනේ මෙහෙ බලන්න         -           මම කියනා දේ අහන්න

වසංගතෙන් බේරෙන්නට             -           මේ උපදෙස් පිළිපදින්න

 

එපා නිකන් ගමන් යන්න             -           නිවසට වී කල් ගෙවන්න

ඕනෙම නම් තනිව යන්න             -           මුව වැස්මක් පැළඳ යන්න

මීටරයක් දුර තියන්න                   -           මිතුරු ඇසුර නවත්වන්න

එපා මුහුණ අතගාන්න                 -           නිතර දැත් සෝද ගන්න

සබන් යොදා සෝදා ගන්න          -           හොඳින් දෑත් සෝදා ගන්න

 

වෙළඳ පොළෙන් ගෙනෙනා බඩු   -           හොඳින් සෝදලා තබන්න

සෝදන්නට බැරි දේවල්               -           තද අව්වේ වේලා ගන්න

තැපැල් පියුං ගේන ලියුම             -           විෂ නාශක ඉහළා ගන්න

චූන් පාන් ගේන කෑම                  -           අවන් එකේ රත් කරන්න

200 ටම රත් කරන්න                  -           රත් කරලා කන්න ගන්න

 

පිටත ගොසින් ආව විගස             -           හොඳින් දෑත් සෝද ගන්න

පිරිසිදු දෑතින් පමණක්                  -           දොර අගුලට අත තියන්න

පාද වැසුම් එළියෙ තබමු              -           ඇඳපු ඇඳුම් සෝදා දමමු

නාලා පිරිසිදු වුනු පසු                   -           පවුලේ අය වැළඳ ගනිමු

නාලා පිරිසිදු වුනු පසු                   -           පවුලේ අය වැළඳ ගනිමු

 

 

ගුරු උපහාරයක්!

මම විමුක්ති.

ඌත් විමුක්ති.

ඒ අපි කොට කලිසම් අඳින අන්තිම අවුරුද්ද.

මැඩම් අපේ පන්ති භාර.

මැඩම්ට මතක ඇති අපි දෙන්නා වලියක් දාගෙන ඔෆීස් එකේ දණගහගෙන හිටියා.

විමුක්ති අහිංසකයි වලි දාගන්න එකෙක් නෙවෙයි. එත් මගේ විහිළුවකට ඌට කේන්ති ආවා. අතේ තිබ්බ බ්ලේඩ් එකෙන් මගෙ බෙල්ල කපන්න හැදුවා. මම අත දික්කරපු හන්දා මගේ අත කැපුණා. මම උගෙ බ්ලේඩ් එක උදුරගෙන උගෙ අත කැපුවා.

සිද්ධිය වුණේ පස්වන පීරියඩ් එකේ. ගණන් සර් පොඩ්ඩක් පරක්කු වුණ වෙලේ. සර් ආව පමාව වැහෙන්නත් එක්ක සද්දෙ දාගෙන.

මොහොතකින් ලේ පෙරාගත්තු අපි විදුහල්පති කාමරයේ. මැඩම් එනකොට අපි හිටියේ කිලිටි දණිස් වලින් ඔෆීස් එකේ ටයිල් වල සීතල බල බලා.

කවුද බ්ලේඩ් එක ගෙනාවේ?

කවුද ඉස්සෙල්ලම කැපුවේ?

ඇයි කැපුවේ?

ප්‍රින්සිපල් මැඩම්ගේ කිසිම ප්‍රශ්නයකට අපි නෙවෙයි උත්තර දුන්නෙ. මොන වලි දාගත්තත් අපි කවුරුවත් පාවා දෙන්නෙ නෑ.

නඩුව විසඳන්න බැරි තැන තමයි මැඩම්ව කැඳෙව්වේ.

‘එන්න කියාපියව් මුන්ගෙ පන්ති භාර ගුරුවරයට.‘

ප්‍රින්සිපල් මැඩම් ගෙරෙව්වෙ අපි පස්සෙන් ඇවිල්ලා ජනෙල් වල එල්ලිලා හිටපු කොලු රෑනට.

මගේ ඇඟ හීතල වෙලා ගියා. බයට නෙවෙයි දුකට. අවුරුද්ද පටන් ගන්නකොටම අපි ප්‍රතිඥා දුන්නා ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් හොඳම පන්තිය තෑග්ග අපි ගන්නවා කියලා. විමුක්තිටත් ඒ දේම හිතෙන්න ඇති. මම දැක්කා උගෙ කඳුලක් ටයිල් බිමට වැටිලා බොඳවෙලා යනවා. ඌ තමයි මැඩම්ට ගොඩක්ම ආදරේ. උදෙන්ම ඉස්කෝලෙ ඇවිල්ලා පන්තිය අතු ගාන්නෙ ඌ. දවස පුරාම පන්තිය කිලිටි වෙන්න දෙන්නෙ නැතුව බලා ගන්නෙත් ඌ. මැඩම්ව සතුටු කරන්න.

මැඩම් එනවා. අඩි සද්දෙ ඇහුනා. අපේ කන් වලට ඒ අඩි සද්දෙ හොඳට හුරුයි. අපි ඔළුව ඉස්සුවෙ නෑ.

‘විමුක්ති! ඔයාලා?‘

මැඩම් පොදුවේ අපි දෙන්නම ඇමතුවා. ඒ හඬේ තිබුනෙ විශ්මයක්. දුකක්. අපි ඔළුව ඉස්සුවෙ නෑ.

‘මුන්ගෙ කටවල් වල පිට්ටු. එකෙක් වත් කතා කරන්නෙ නෑ. කවුද බ්ලේඩ් එක ගෙනාවේ?

කවුද ඉස්සෙල්ලම කැපුවේ? ඇයි කැපුවේ? එකෙක්වත් කියන්නෙ නෑ.

කවුද මුන්දෙන්නගෙන් නරකම එකා?‘

ප්‍රින්සිපල් මැඩම් ඇහුවෙ අපේ මැඩම්ගෙන්.

‘දෙන්නම හොඳයි‘

මැඩම් ගත් කටටම උත්තර දුන්නා.

‘දෙන්නම හොඳයි! දෙන්නම හොඳ නම් මුන්ව කැපුවෙ පිටින් ආව එකෙක්ද?‘

ප්‍රින්සිපල් මැඩම් අතේ තිබුන වේවැල වන වන අඩි බිම ගහලා කෑගැහුවා.

‘ඔව් මැඩම් මම කිව්වෙ ඇත්ත. මේ දෙන්නම හොඳයි‘

මැඩම් ආයෙමත් කිව්වා.

‘මේක ක්‍රිමිනල් කේස් එකක්! මම මුන් දෙන්නව පොලීසියට බාර දෙනවා‘

ප්‍රින්සිපල් මැඩම් හැරුනෙ ෆෝන් එක ළඟට යන්න වෙන්න ඕනෑ.

‘එපා මැඩම්. මම නඩුව අහන්නම්. මට බාර දෙන්න. මගේ පන්තියෙනේ‘.

මැඩම් කළබලෙන් කිව්වා.

ප්‍රින්සිපල් මැඩම් ආපහු හැරුනා.

‘හොඳයි ! නඩුව අහලා මට මුන් දෙන්නා අතේම නඩු වාර්තාව එවන්න ඕනෑ‘.

‘හොඳයි මැඩම්‘

අපි මැඩම් පස්සෙ ඇදුනා.

‘ඔය මූණ අතපය සෝදගෙන පන්තියට එන්න‘

ඔෆිස් එකෙන් එළියට ආව ගමන් මැඩම් කිව්වා.

අපි පන්තියට ආවම මැඩම් අපිට නඩු වාර්තාව දුන්නා ප්‍රින්සිපල් මැඩම්ට ගිහින් දෙන්න.

වැඩේ වැරදි වුනත් අපි අතරමඟදි ඒක කියෙව්වා.

“අද දින විවේක කාලයේදී  9 A ශ්‍රේණියේ විමුක්ති ප්‍රසාද් සහ විමුක්ති තරංග යන ශිෂ්‍යයන් බ්ලේඩ්  වලින් සෙල්ලම් කිරීමට ගොස් අත් කපාගෙන ඇත. නැවතත් එවැනි දේ නොකරන බවට ඔවුන් පොරොන්දු විය.“

මැඩම් ට මතක ඇති අපි ඒ අවුරුද්දෙත් හොඳම පන්තිය තෑග්ග ගත්තා.

ඒත් කවදාවත් ඒ නඩුව නම් ඇහුවේ නෑ.

පිටිපස්සෙ පේළියෙ හිටපු විමුක්ති මගේ ළඟට දැම්මා. මැඩම් උගන්වන වෙලාවෙදි හැමදාම මගෙ පෙළපොත ගන්නවා. මට විමුක්තිගෙ පොත බලා ගන්න කියනවා. පවරන හැම වැඩක්ම අපි දෙන්නට එකට පවරනවා. අපි දෙන්නා හැමදාම එකම කණ්ඩායමේ. පස්සෙ තමයි තේරුනේ අපි යාළු කරවන්න මැඩම් එහෙම කළේ කියලා.

අපි තවමත් හොඳ යාළුවෝ.

මම දැන් විවාහකයි. මට පුතෙක් ඉන්නවා. මගේ පුතාටත් මැඩම් වගේ ගුරු දෙවිවරු ලැබේවා කියලා තමයි ප්‍රාර්තනා කරන්නෙ.

මැඩම්ට දීඝායූ!

Monday, June 24, 2019


යතාර්තය

මේ තරම් මෝඩයිද දරුවන්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අසරණ ඔවුන්හට
ජීවෙ දුන් මහවුන් සොයා

ගල් කොරිය ළඟ පුංචි අතු පැලෙ
වෙරිමතින් පිල මත දපා
විකල් සිහියෙන් පියාණෝ ඇත
ගෑණි රට යැයි දෙස් තියා

දෑස් යට ගිය සිරුර වැහැරුණු
මිත්තණිය දෙස හොරැහින් බලා
නිකන් ආවේ ගිහින් එන්නම්
කියා සුසුමක් පිට කලා

Monday, April 30, 2012

අඩවන්ව නිදි කිරූ කොළ පාට පළිගු ඇස් දිදුලයි පෙර සේම
දොරමුල්ලෙ ගල්ව හුන් නිල්පාට ටීක් බෝලෙ සැරි සරයි දස අතම
දින තුනක් ගොළුව හුන් පුංචි මුව විවර කර සිහි කරයි කුස ගින්න
එක් තැන්ව වැතිර හුන් සුදුපාට ලොම් ගුලිය වධ කරයි එති එතී පයෙන් පය 

අඹ මලින් පැණි උරන සියොත් කැල සීරුවෙන්
මලින් මල ඉගිලෙන්න සමනලුනට නෑ වරම්
දෙමලිචි රෑනට ද පරිස්සම් වෙන්න වෙයි
ලේනුන්ට ගස් උඩම හිටියොතින් දැන් හොදයි

මී කැලත් හැංගිලා නෑ කිසිම සද්ධයක්
පුංචි කිටී ලෙඩ වෙලා අපි කරපු යුද්ධයක්
එයා දැන් සුව වෙලා දැන් ඉතින් නෑ දුකක්
එපා මගෙ චූටි පුතු ලෙඩ වෙන්න ආයෙමත්!






Wednesday, October 26, 2011

ගැහැණු කම

සරමක්ද?
කම්බායක්ද?
------------------------------------------
අපෝ!............... පුතෙක් ඉපුදුනා නම් තමයි හොද!
---------------------------------------------------
දුවේ ගේ අතුගාලා දාන්න.
අක්කි මට තේ එකක් දානවද?
නංගි.. සුදු නංගි වගේ මගේ ඇදුම් ටික හෝදලා දමන්න හොදේ.
චූටි මැනිකේ මට උයන්න ටිකක් උදව් කරන්නකෝ
------------------------------------------------------
ගැහැණු ළමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
ගැහැණු ළමයි ගෙදරට වෙලා ඉන්න ඕන
ගැහැණු ළමයි හයියෙන් හිනාවෙන්න හොද නෑ
ගැහැණු ළමයි සංවරව හැසිරෙන්න ඕන
...........................................................
අලුත් මනමාලි ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
ඔය රෙදි ටිකත් දාන්න. නෑනා සෝදයි.
අලුත් ලේලි කෑම රසට උයයි.
ලේලි ගේ අස් පස් කරලා අතුගාලා දමයි.
----------------------------------------
කසාද බැදලද?
ළගදි ප්‍රසූත නිවාඩු ගන්න අදහසක් නැහැනේ..
එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
--------------------------------------------
බබාට සනීප නෑ....... මහත්තයාට සනීප නෑ..........
ඕවා හරියන්නෙ නෑ රක්සාවත් එක්ක.
.................................................................
මගේ ඇදුම් අයන් කරලද?
කෝ මගේ කෑම එක?
කෝ මගේ බෑග් එක.
මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
ඔයා ටිකක් කලින් ඇවිල්ලා මගේ කමිස ටික සෝදල දමන්න.
-----------------------------------------------------------------
වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
උදේට කාලා යමු
දවල් කෑම අරන් යමු
මගදි කන්නත් මොනවා හරි හදන්න
ඔය කඩවල් වල කෑම කන්න බෑ
--------------------------------------
ඔයාට ක්ලිනික් යන්න මම ඕන නැහැනේ.
අම්මා හරි නංගි හරි එක්ක යන්න.
-----------------------------------
ඔයාට පුළුවන්නෙ තනියම ගිහින් බබාට ඉන්ජෙක්ෂන් එක දෙන්න.
අපි දෙන්නම නිවාඩු දමන්න ඕන නැහැනේ.
------------------------------------------
බබාට ඉදුල් කට ගාන්න නැකතක් හදන්න ඔයාට යන්න පුළුවන් නේ.
පඩියට පස්සෙ දවසක් කියල හදාගන්න.
අපි පාටි එකකුත් දමමු.
------------------------------------

බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපි පාටි එකක් දමමු
මම යාළුවන්ටත් එන්න කිව්වා
හොදට කෑම ටිකක් හදන්න.. බයිට් ටිකකුත් එක්ක.. දන්නවනේ ඉතින්.
-----------------------------------------------

දැන් සර්වන්ට්ස් ලා ඕනෙ නැහැනේ.
බබා ඩේ කෙයා එකකට දමමු
ඔයාට පුළුවන්නෙ උදේට ගිහින් දමලා හවසට අරන් එන්න.
----------------------------------------------
අම්මේ බඩගිනියි
අම්මේ කට දනවා වතුර ඕනේ
අම්මේ කක්ක බරයි
අම්මෙ කලිසමේ චූ ගියා
අම්මෙ අයියා ගැහුවා
අම්මෙ මල්ලි කෙනිත්තුවා
---------------------------------
අම්මෙ මගේ පැන්සල කෝ?
අම්මෙ මගේ ඔළුව පීරන්න
අම්මෙ මගේ ටයි එක ගැට ගහන්න
අම්මෙ මගේ ලේස් ගැට ගහන්න
--------------------------------
අම්මෙ කෝ මගේ සපත්තු?
අම්මෙ කෝ මගේ පනාව?
අම්මෙ කෝ මගේ කෑම එක?
අම්මෙ මගේ ඇදුම් අයන් කලාද?
අම්මෙ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා කෑම ලෑස්ති කරන්න.
------------------------------------------------
ළමයින්ට හොද නරක කියලා දෙන්න ඕන අම්මා.
ළමයින් ට පොත් කියවන්න අම්ම හුරු කරන්න ඕන
ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා අම්මා දැන ගන්න ඕන.
ළමයින්ට ගේ දොර වැඩ හුරු කරන්න අම්ම දැන ගන්න ඕන.
----------------------------------------------------
අම්මෙ අපි එනකොට හවස් වෙයි බබාට වෙලාවට කෑම දෙන්න.
අම්මෙ බබා නෑව්වද?
බබාට සනීප නෑ අම්මට පුළුවන්නේ ළග ඉන්න
-----------------------------------
ආච්චි මේ ගවුම අන්දන්න
ආච්චි මගේ ඔළුව පීරන්න
ආච්චි මට හෝම්වර්ක් කියලා දෙන්න
ආච්චි මට කතාවක් කියලා දෙන්න
ආච්චි මට කවියක් කියලා දෙන්න
ආච්චි මට බඩගිනියි.
ආච්චි මගේ ඇදුම් සේදුවද?
ආච්චි මගේ ඇදුම් අයන් කලාද?.............................................................

Saturday, January 15, 2011

මිනිස්සු?

මම බසයෙන් බැස්සා නොව එක පඩියක් ද මග හැර පැන්නෙමි. පැවතුන මද වැස්සට කුඩය දිග හරින්න ද පමා නොවී නිවස කරා දිව්වෙමි.
“කෝ?...කෝ..ඩොක්ටර් අංකල්?“
මගේ කලබලය ට නිවසින් පිටත ට පැමිණි මවගෙන්, මම හති අරමින් විමසු වේ. අප නිවසේ කොටසක නැවතී බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන යන වෛද්‍යවරයා ගේ කාමරය දෙසට දුවමිනි.
දොර වසා ඇත. වෙලාව පස්වරු පහ පසුවී විනාඩි විස්සක් ඉක්මවා ඇත. රෝගීන් පරික්ෂා කිරීම ආරම්භ වන්නේ  පස්වරු හතරයි තිහට. ගරාජයේ දොර ඇර දමා ඇත. ඔහු පැමිණ ගොස් ද? එසේ නැත්නම් රෝගීන් වෙනුවෙන් අතිශයින් කැප වෙන ඔහු තවමත් රෝහලේද?
“දොසස්තර මහත්තයා තවම ආවේ නෑ. මොකක් ද මේ කලබලේ? මා අසළ ට පැමිණි මව විමසුවාය.“
“කෝ තාත්තා?“
“ඉස්කෝලේ  ඇරෙන්නේ දෙකට වුනාට තාත්තා ගෙදර එන්නෙ හයටනේ“
“මල්ලි?“
“ මතක නැද්ද මල්ලි ගෙදර එන්නේ සිකුරාදා හවසට නේ. ඔයා මේ කලබලේ සතිය මැද ආවට.“
පිහිටට කිසිවකු නැත. පමා විය නොහැක. වහා ක්‍රියාත්මක විය යුතුය.
අත වූ බෑගය සහ කුඩය මව අතට වීසීකර, මුව අයා ගත් ඇය කිසිවක් වීමසීම ට පෙර ම ආපසු හැරුනෙමි.

“ කොහෙද දුවන්නේ? ... මේ වෙලාවෙ ලෙඩ්ඩු බලන්න යන්න දෙන්නෙ නෑ“
“ අනේ හදිස්සියක්.! මට ඩොක්ටර් මුත්තයියා මුණ ගැහෙන්න පුළුවන් ද? මා වැලකූ රෝහල් සේවකයා ට බැගෑපත් වුනෙමි.
“ඩොක්ටර්  ලේබර් රූම් එකේ. එන්න යමු මාත්තෙක්ක“
ඒ අසළින් යමින් සිටි මා හදුනා ගත් හෙදිය ක් මට සහාය වූවාය.
“එයා අලුත් එක්කෙනෙක් ඔයා අදුරන්නෙ නැතුව ඇති“
“මම මෙතන නවතිනවා. ඔයාට යන්න පුළුවන්නේද?
“ ආ.. ඔව් තෑන්ක්ස් මිස්“
මම සූතිකාගාරය වෙත දිව ගියෙමි.
මෙම රෝහල මට නුපුරුදු තැනක් නොවේ. අනාගත වෛද්‍යවරිය ක් වීම ට පෙරුම් පුරන මා මෙහි ප්‍රධාන වෛද්‍යවරයා සමග ඔහුගේ දියණිය මෙන් මෙම කුඩා රෝහලේ හැම තැනකම ඇවිද ඇත.
සූතිකාගාරයෙ වැසූ දොර ට සෙමෙන් තට්ටු කල මා නොඉවසිල්ලෙන් එදෙස බලා සිටියෙමි.
“ මට ඩොක්ටර් ට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?“
“ අමාරු ලෙඩෙක් ! ටිකක් ඉන්න වෙයි“ අඩක් විවර වූ දොරෙන් හිස පමණක් එළියට දැමූ සාත්තු සේවිකාව නැවත දොර වසා ගත්තාය
බලාපොරොත්තු සුන් වූ මා සූතිකාගාරයේ දොරට පිට දී සිට ගතිමි. අසළ බංකුවක මහලු මවක් නිදි කිරයි. ඒ ඉදිරිපිට දෑත් පිටුපසට බැදගත් තරුණයෙක් නොසන්සුන් ලෙස එහා මෙහා යයි. විළිබර මවක ගේ  අදෝනාවක් ඇතුලතින් ඇසේ.
ඒ අදෝනාව අද දිවා කල, ජීවිතය ඉල්ලා මිනිසුන් නැගූ අදෝනා වෙත මා ගෙන යයි. ඒ බිහිසුනු දසුන් මා ඉදිරියේ මැවි මැවී  පෙනෙයි
 “ මේ දෙමළා මගේ ගෑනි මරනවද මන්දා“
සූතිකාගාරය ඉදිරිපිට නොසන්සුන් ලෙස එහාමෙහා ගිය තරුණයා ගේ දෑත් මිට මෙලවී ඇත. රෞදු වත, රළු වදන් මා දිව ආ කාරිය සිහිපත් කරවයි.
වැසූ දොර තල්ලුකර ගෙන ඇතුල ට යාම ට මගේ උගත්කම මට ඉඩ නොදෙයි. එහෙත් ඔහු එනතුරු වැසූ දොර දෙස බලා සිටීම ට ඔහු ගේ දයාව කරුණාව මෙන්ම වටිනාකම හදුනා ගත් මගේ හදවත මට ඉඩ නොදෙයි.
මොහොතක් බලාසිටි මම නැවත වරක් දොරට තට්ටු කලෙමි.
“ ගෙදරින් හදිස්සි පණිවිඩයක් මට ඩොක්ටර්ට චුට්ටක් කතා කරන්න බැරිද?“
“පොඩ්ඩක් ඉන්න බලන්න“ දොර විවෘත වූ සැනින්ම නැවතත් වැසිණි.
විළිබර මවගේ අදෝනාව නැවතත් ඇසේ.
“චූටි මැණිකේ!“ එවර මදක් ඇරුණු දොරින් මා පැතූ හිස මතු විය.
“ඉක්මනට කොහේ ට හරි ගිහිල්ලා හැංගෙන්න. මෙතන හිටියොත් උන් ඔයාව මරයි.“ මම කලබලයෙ න් එහෙත් පහත් හඩින් පැවසුවෙමි.
“ මාව මරන්න! කවුද මාව මරන්නේ? ඇයි මාව මරන්නේ?
“ මෙහේ එන්න. මේක ඔයාටත් වැදගත්. හොද වෙලාවට ඔයා ආවේ. මම මේ වගේ කේස් එකක් ඔයාට පෙන්නන්නමයි හිටියේ. යූ ආර් අ ලකී ගර්ල් “
සූතිකාගාරය තුලට මාවද ඇදගත් ඔහු දොර වසා දැමුවේය.
“ මේ අම්මා දයාවතී. බබා ඉන්නේ තට්ටමින්. මම හදන්නේ බබාවයි අම්මවයි දෙන්නම බේරගන්න. ඔයත් බලා ගන්න.“ මුව වැස්ම සකස් කරගත් ඔහු නැවතත් සිය කාර්යයෙ හි නිරත විය.
යහනෙහි වැතිර සිටින මව ජීවිතය ඉල්ලා කෑගසයි. වෛද්‍යවරයා සැනසිලි වදන් පවසමින්, ඇයට සහ ඇගේ දරුවා ට  ජීවිතය දීම ට වෙහෙසෙයි.
මරණ භය දැනුන මිනිසුන් ජීවිතය ඉල්ලා දේශප්‍රේමීන් ගේ දෙපා වදියි.  සිත්පිත් නැති මෘගයින් (දේශප්‍රේමීන්) රළු වදන් පවසමින් ඔවුන් මරණයටම තල්ලු කරයි.
මා සිත නොසන්නුන්ය. ඔහු පවසන පරිදි මටත් වැදගත් විය හැකි ඒ අසාමාන්‍ය දරු ප්‍රසූතිය නිරීක්ෂණය කිරීමට තරම් චිත්ත ඒකාග්‍රතාවයක් මා සතුව නැත. තම දිවියේ අවදානම නොදත් වෛද්‍යවරයා සිය කාර්යයෙහි දැහැන් ගත වී ඇත.
“ අක්කේ ! ඔයා දැන් ඩොක්ටර් කෙනෙක්ද?“
එක් නිවාඩුව ක් ආරමිභ යේ සුපුරුදු පරිදි නේවාසිකාගාර වල සිට නිවස කරා එමින් සිටිය දී මා සොයුරු හදිසියේම ඇසූ පැනය  මා හට නොවැටහුණි.
“පිස්සුද? මම තාම තර්ඩ් ඉයර් නෙ“
“ තර්ඩ් ඉයර් මෙඩිකෝ ලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද?“
“ මොකද මේ මෝඩ ප්‍රශ්න අහන්නේ?“
පළමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙක් වූ ඔහුගෙන් මෙවන් පැන බලාපොරොත්තු විය නොහැක. කියවමින් පැමිණි පුවත්පත හකුලා ගත් මම ඔහු දෙස බැලීමී.
“අන්න ! තාත්තා දැන්මම ඩිස්පෙන්සරි එකක් ඇරලා.“
“මෝඩයා! Conclusion එක දෙන්න කලින් හොදට observe කරලා ඉන්නවා!“
සොයුරු ගේ උපහාසයට පාත්‍ර වූ නිවසේ ගේට්ටුව අසල ට අලුතින් එක් වී ඇති රතු කුරුසය සහිත පුවරුව කියවූ මම පැවසීමී.
“තාත්තා යාළුවෙක් එක්ක ඇවිල්ලා“
සුපුරුදු පරිදි අප එන පෙර මග බලාසිටි මව පැවසුවා ය.
“ඇයි ක්වාටර්ස් එක තෙමෙනවලු ද?“
“ඒක රෙපෙයාර් කරනවලු හදල ඉවරවෙනකන් තමයි මෙහෙ ඉන්නෙ“
“වෙන තැනක් හොයා ගන්න බැරිවෙලා ද  අපේ තාත්තා ගෙදර එක්කගෙන ඇවිල්ලා තියෙන්නෙ?“
“කට වහ ගන්නවා ඒ මනුස්සයට ඇහුනොත් හොද නෑනේ“
මවගේ දෙපා නැමද සිටගත් මම පහත් හඩින් පැවසූයේ නිවස තුලට දෑස් යවමිනි.
“ඇහුනොත් හොදයි යයි නෙ අකුල ගෙන යන්න.“
“ මොකද මේ? ඇහෙන්න ගෙදර නෑ. තාත්තත් එක්ක පංසල් ගියා“
මව පැවසූයේ තරමක් සැරෙනි.
“ පංසල් ගියා? එයා ද්‍රවිඩ බෞද්ධයෙක්ද?“
ඔහුගේ උපහාසයේ නිමක් නැත.
“පංසල් යන්න බෞද්ධයෙක් ම වෙන්න ඕනද? අනිත් එක ද්‍රවිඩ බෞද්ධයෝ ඉන්න බැරි ද?“
වෛද්‍යවරයා ගේ ආගමනය ට ඔහුගේ විරුද්ධත්වය මට නෙරුස්සුම් දෙන්නක් විය. පියා නවාතැන් දුන්නා නම් ඔහු හොද පුද්ගලයෙක් විය යුතුය. මපියා තෝරා බේරා මිනිසුන් ඇසුරු කරන්නෙකි. ඔහුට සිටින මිතුරන් අතලොස්ස ඔහු මෙන්ම ඉතා යහපත් පුද්ගලයෝ වෙති.
“ඇති කෑ ගැහුවා. ගිහිල්ලා ඇදුම් මාරු කරගෙන තේ බොන්න. අන්න මම වැලිතලප හැදුවා“
“ වැලිතලප කිව්වට අද මගේ කේන්තිය නිවෙන්නෙ නෑ. නිවාඩු කාලේ කලිසම් කොටයක් ඇදගෙන, සිංදුවක් කියාගෙන කෑ ගහගෙන නිදහසේ ඉන්නෙ කොහොමද මේ ඩිස්පෙන්සරියට පෝලිමේ ලෙඩ්ඩු එනකොට?“
“ළමයෝ! ඩිස්පෙන්සරිය ට ලෙඩ්ඩු එන්නේ හවස හතර හමාරේ ඉදන් හත හමාර වෙනකන් විතරයි නේ. පැය තුනයි. තව පැය විසි එකක් ම තියෙන්නෙ ඇතිවෙනකන් කෑ ගහන්න.“
“ හරි ඒපැය විසි එකම මම කෑ ගහනවා. කෝ වැලි තලප?“
“ කෑ ගහයි. පැය දොළහක්ම ගොරව ගොරවා නිදා ගත්ත ම පැය නවයක් තමයි කෑ ගහන්න වෙන්නේ. මේ... මට පාඩම් කරන්නත් තියෙනවා. ...... හොද ද?
“ ආ පුතා ලා දැන් ද ආවේ?..... අපි පංසල් ගියා. මේ අපේ ඉස්පිරිතාලෙ ට අළුතින් ආපු දොස්තර මහත්තයා. ඩොක්ටර් මුත්තයියා. යාපනේ කෙනෙක්. හොද බෞද්ධයෙක්.“
කාරුණික දෑස් ඇති උත්තුංග දේහධාරී ඒ කාලවර්ණ පුද්ගලයා, එදා මෙදා තුර වසර 3 කට අධික කාලයක් අප දෙදෙනා ට තවත් පියෙක් විය.
කිරි දරුවාගේ හැඩුම මගේ අතීත ස්මරණය බිද දැමීය.
“ ඔක්කොම හරි! දෙන්නම ගොඩ.“
මුව වැස්ම ගෙල දක්වා පහත් කරගත් වෛද්‍යවරයා සිනාමුසු මුහුණින් පැවසුවේය.
“චූටි මැනිකේ බලා ගත්තද? මේවා අද්දැකීමෙන් කරන වැඩ. පොතෙන් නෙවෙයි. ජීවිත දෙකම බේරුණා. අවිස්සාවේල්ලට transfer කලා නම් මගදි මැරෙනවා“
“ අනේ අංකල් දැන්වත් යමු.“
“පොඩ්ඩක් ඉන්න. මේ අම්මට stitches දමන්න තියෙනවා.“
සර්! සර්! ඉක්මනට හැංගෙන්න! උන් සර් ව හොයනවා. අපේ දෙමළ මුරකාරයා වත් මැරුවා!“ කලබලයෙන් සූතිකාගාරය ට කඩා වැදුණු හෙදිය ක් පැවසුවාය. වෛද්‍යවරයා නිහඩ ව සිය කාර්ය යේ යෙදෙයි.
 අවි අමෝරාගත් යකුන් මට මැවී පෙනෙයි.
දේශප්‍රෙමයෙ න් යකුන් වූ මිනිසුන් ඔවුන් ගේ දේපල විනාශ කරයි. ඔවුන් මරණ බයෙන් මර ලතෝනි දෙද්දි. ඇදගෙන ගොස් අමු අමුවේ පුළුස්සයි. ඔවුන් පණ බයේ පැන දුවද්දී පන්න පන්නා පහර දෙයි. අභය ඉල්ලා හඩා වැටෙද්දී සිත් පිත් නැත්තවුන් සේ පහර දෙයි. මෙසේ පීඩා විදීම ට ඔවුන් කර ඇති එකම වරද ද්‍රවිඩයන් වී ඉපදීමයි.
“ අනේ අංකල් හැංගෙන්න!“ මම කෑ ගැසීමී.
“ අනේ මිස් එයාව හංගන්න!“ මම හෙදියට පිංසෙන්ඩු වුනෙමි.
“පොඩ්ඩක් ඉන්න! පොඩ්ඩක් ඉන්න! ඔයාලට තේරෙන්නෙ නැද්ද? මේ අම්මගෙ stitches දමල ඉවර නෑ. ඇයි disturb කරන්නෙ?“ හෙදියත් මමත් ඔහු ඇද ගෙන යාමට දැරූ උත්සාහය වලකමින් ඔහු සිය කාර්යයේ දිගට ම නිරත වෙයි.
‘ඉන්න මම කවුරු හරි එක්ක ගෙන එන්නම් ඇදගෙන වත් යන්න“ පැවසූ හෙදිය පිටවූවා ය.
පිටත විශාල ඝෝෂාවක් ඇසේ. දෙවියනේ! බෝධිසත්වයෙ කු බදු මේ මිනිසා බිලි ගැනීමට මෘගයින් පැමිණ ඇත. සාත්තු සේවිකාව දුව ගොස් දොර අගුලු තද කලාය. ඔහු හිස නමාගෙන දයාවතී ට මැහුම් යොදයි.
“ අනේ අංකල්!“ මම ඔහු වෙත ගියෙමි.
“හරි සේරම ඉවරයි. අම්මා! ඔයා හරි වාසනාවන්තයි!“ මුව වැස්ම පහත් කල ඔහු සුපුරුදු සිනහමුසු මුහුණින් දයාවති සැනසු වේය.
“ කෝ!  මේ දෙමළා! වරෙන් එළියට!“  මැරයන්  පිටත සිට අණ කරයි. අයෙක් දොරට වැරෙන් පහර දෙයි.
“ පර දෙමළා! වර එළියට! “ ඔවුන් ගේ හඩ රළු ය.
“කඩපන් දොර!“ අයෙක් අණ කරයි.
වහා ක්‍රියාත්මක වූ සාත්තු සේවිකාව ත් මම ත්, වෛද්‍යවරයා සූතිකාගාර යේ ඇ යට ට යැවීමු.
“ ඇයි මම හැංගෙන්නේ? මම මිනිස්සු සුවපත් කරනවා. ඇයි මින්ස්සු මාව මරන්නේ?“ ඔහු සුපුරුදු ශාන්ත ස්වරයෙන් විමසයි.
තවදුරටත් ඔහුව නොපෙනෙන සේ රෙද්දක් එල්ලූ සාත්තුසේවිකාව නැගී සිටියා පමණි. මහත් හක් දෙමින් සූතිකාගාරයේ දොර කඩා වැටුණි.
“ කෝ දෙමළා?“ කැඩුණු දොර ත් සමගම ඇතුල් වූ කඩුවක් අමෝරාගත් මැරයා වෛද්‍යවරයා සොයයි.
“ඩොක්ටර් ගිහින් හුගක් වෙලා. ඩිස්පෙන්සරියෙ ඇති.“ සාත්තුසේවිකාව වහා පැවසුවාය.
“ඔය බොරු. මේ දැන් හිටියා. මගේ ගෑනිට ළමය හම්බුවුනේ දැන්. එතකොට හිටියා.“ 
මට දෙසවන් ඇදහිය නොහැකි විය. මිනිසකුගේ වටිනාකම නොදන්නා නොමිනුස්සු. ඔහුගේ බිරිදගේ ත් දරුවාගේ ත්  දිවි ගැලවූ වෛද්‍යවරයා!
“ හොයාපල්ලා!“ කඩුව අතැති මැරයා අණ දෙයි.. මුගුරු අතැති ඔවුන් සූතිකාගාරය දෙවනත් කරයි. මොවුන් මේ දගලන්නේ ජාත්‍යාලයෙන්ද?
“ඇ යට ඇති! වෙන හැංගෙන්න තැනක් නෑ. බලාපල්ලා ඇ යට!“ අයෙක් අණ දෙයි.
 මා දෙපා වෙව්ලයි. දෙවියනේ! ඔහු අදෘශ්‍යමාන කල හැකි නම්! සාත්තුසේවිකාව දැමූ රෙද්ද ඇද දැමූ අයෙක් ඇ යට ට එබෙයි.
“ ආ... මේ ඉන්නේ! හොර දෙමළා හැංගිලා! වර එළියට!“ ඔහු වීරයෙක් මෙන් කෑ ගසයි.
“අනේ එපා! ඩොක්ට(ර්)ව මරන්න එපා!“ මට කෑ ගැසිණි.
“පලයන් පැත්තක ට! දේශ ද්‍රෝහියෝ!! පර දෙමළු හංගනවා“ ඔහු මා පසෙක ට තල්ලු කලේ කෝපයෙන් ගුගුරමිනි.
“ ඇයි මේ! මෙතන මෙහෙම කෑ ගහන්න එපා! මේ අම්මට හොද නෑ. එයා ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. අපි යමු එළියට. “ වෛද්‍යවරයා තවත් රෝගියා ගැන සිතයි.
“චූටි මැනිකේ පරිස්සමින් ගෙදර යන්න.“ සාත්තු සේවිකාවට වාරුවූ මා දෙස බැලූ ඔහු පැවසුවේ මැරයන්ට මැදිව සූතිකාගාරයෙ න් එළියට යමිනි.
“වරෙන් යකෝ! අපිටත් ඕනේ උඹව එළියට ගන්න තමයි“ සිත්පිත් නැති මෘගයින් කෑ ගසයි.
මා සියොළග ම ගැහෙයි. මා හිස බමයි. මට පියෙක් වන් වූ ඔහු! රෝගීන් ට දෙවියෙක් වන් වූ ඔහු! දේශප්‍රේමීන් ට මැදිව මේ යන්නේ අවසන් ගමනද?
“ඇයි මට මේ විදිහට සලකන්නේ? මම දෙමළ තමයි එත් මගේ මේ අත් දෙකෙන් කොච්චර නම් සිංහල මිනිස්සුන් ගේ ජීවිත බේරලා ඇද්ද?“
දෑස නිලංකාර ව බිම වාඩි වී දෙදනෙහි හිස හොවාගත් මා හට මගෙන් ඈත්ව යන වෙද පියාගේ ශාන්ත හ යාන්තමින් ඇසිණි.