සුරතලිය
“පුතා, සුදූ
මගෙ ළඟ. ඇවිල්ලා අරන් යන්න“
මවගේ
හඬ......!
වහා ඇඳෙන්
නැගිට්ට මම දෑස පිසදා විදුලි පහන දැල්වූවෙමි. නිදි වර්ජිත රාත්‍රීන් තුනකට පසු
නින්ද ළඟා වූවා පමණි.
“අයියා
ඔයාටත් අම්මාගෙ කට හඬ ඇහුන ද? “
කාමරයට
පිවිසි මා සොයුරු මා අසළින් වාඩි වෙමින් ඇසුවේය. ඔහුට ද මවගේ හඬ ඇසී තිබේ.
“ සුදූ
අම්මා ළඟ කියන්නේ එයත් මැරිල ද?
කදුළු
සැඟවීමට ඉවත බලා ගත්තත් ඔහුගේ හැඬුම්බර හඬ මට සැඟවිය නොහැක. දින කිහිපයක සිට
නොනැවතී ගලන කදුළු අළුත් වූවා සේය.
මවගේ දේහය
නිවසට රැගෙන විත් සාලයේ තැන්පත් කළ අවස්ථාවේ සිට මව අසළින් නොසෙල්වුන සුදූ
කිසිවෙකුටවත් ඇයව එතනින් ඉවත් කිරීමට ඉඩ නුදුන්නාය. නොකා නොබී දින තුනක් මවගේ දේහය
අසළ වැතිරී සිටි අපේ සුරතලිය පෙට්ටිය වැසීමට පෙර කිසිවෙකු බෙල්ලෙන් අල්ලා ඉවතට
දමනු දුටුවෙමි. සෙනඟ අතරින් පලාගිය ඇය සෙවීමට ඒ කාර්ය බහුල අවස්ථාවේ අපට ඉඩක්
නොලැබුණි.
අවසන්
කටයුතු නිමකර නිවසට පැමිණි අප දෙදෙනාගේ ප්‍රථම කාර්යය වූයේ සුදූ සෙවීමයි. දින තුනක
තෙහෙට්ටුව, හිත පෙලන දුක, දරාගෙන යා හැකි හැමතැනම ගොස් සුදූ සෙවූ මුත් අපහට ඇය
සොයා ගැනීමට නොහැකි විය.
මියගිය අපේ
මව මැදියම් රැයේ සිහිනෙන් ඇවිත් අප දෙදෙනාම අමතා
සුදූ ගැන දුන් පණිවිඩය සත්‍යයක් විය හැකි යැයි අප දෙදෙනාගේම විශ්වාසයයි.
“මැරිලා
වෙන්න බෑ. එහෙමනම් ඇවිත් අරන් යන්න කියන්නේ නැහැනේ.“
මම උනන
කදුළු පිසදමමින් පැවසීමී.
“ එයා තවත්
අපි ගැන බලනවා.“
මල්ලි
බිඳුණු හඬින් පැවසුවේ දිගු සුසුමක් ද සමඟිනි.
“අපි හෙට
උදෙන්ම යමු. මේ වෙලාවට එතෙන්ට යන්න බැහැනේ“
මුවින්
නොදොඩා එකිනෙකාට කදුළු සඟවමින් දීර්ඝතම පැය කිහිපයක් නිදිවර්ජිතව ගෙවූ අප දෙදෙනා,
යාන්තමින් මහ පොළවට හිරු එබෙද්දීම කනත්ත බලා පිටත් වුනෙමු. තාමත් වියළී නැති මවගේ
සොහොනේ තෙත පස් කන්ද මත වකුටුව නිදන සුදූ අපට දුර සිටම හඳුනාගත හැකි විය.
“ඊයේ හවස
ඉඳන්ම ඔය පූසා ඔතන. මම කන්න දුන්නා. කෑම දිහා බැලුවෙවත් නෑ.“
අපි සොහොන
අසළට යද්දී මුරකරු පැවසීය.
“සුදු ! අපි
ගෙදර යමු නේද?“
අපගේ
පැමිණීමට කිසිම ප්‍රතිචාරයක් නොදක්වමින් සීතල පස්කන්ද මත නිදන සුදූගේ හිස අතගාමින්
මල්ලී පැවසීය.
“සුදු මැණික
අයියලා එක්ක ගෙදර යන්න.“
“අම්මා!
පහත් වී
සුරතලියගේ හිස අතගාමින් සිටි මල්ලී එකවරම හිස ඔසවා වටපිට බැලීය.
“ඔයාටත්
ඇහුන ද?“
ඔහුගේ
උරහිසට අතක් තැබූ මම විමසීමී. මල්ලීටත් මටත් පමණක් නොව සුදූටද ඒ හඬ ඇසුණු සෙයකි.
අකමැත්තෙන් මෙන් කුසීතව පස් කන්දෙන් තැඟිටගත් සුදූ අප දෙපා වෙළන්නට විය.
“ඔව් අම්මා
සුදූ ට කතා කරා“
නොනැවතී ගලන
මල්ලීගේ කදුළු බිඳු සුදූ ගේ සුදු බූල් මතින් ලිස්සා ගොස් තෙත පස් කන්ද යට සැඟව
ගියේය.
“අම්මේ අපි
සුදූ ව බලා ගන්නවා“
සුරතලිය
දෝතටගත් මම පැවසීමී.