අපි දෙන්නා
එකේ
පන්තියෙදිත් අපි දෙන්නට හොඳට ගණන් පුළුවන්. ඒක එහෙම වෙන්න ඕනනේ. යන්තම් ඇටෙන්
පොත්තෙන් ආව දවසෙ ඉඳන්ම අපි දෙන්නා කළේ අම්මත් එක්ක එකතු කරන එකයි අඩු කරන එකයිනේ.
අපි දෙන්නා
ගියේ මහනුවර නගරේ මැද තිබුන ඉස්කෝලෙකට. පන්තියේ කාටවත්ම බැරි වුනාට අපි දෙන්නට
හොඳට ඉංග්‍රීසිත් පුළුවන්. හැබැයි කතා කරන්න විතරයි. ගණනුත් අපිට හදන්න පුළුවන්
හිතෙන් විතරයි. ඉලක්කම් ලියලා හදන්න බෑ.
ආ. අපි
දෙන්නා කිව්වෙ ..... අම්මගෙ බඩේදිම එක බීජය දෙකට බෙදාගෙන ආව මගේ නිඹුල් මල්ලියි
මමයි. එදා ඉඳන්ම අපි දෙන්නා හැමදේම දෙකට බෙදා ගන්නවා.
පන්තියේ
අනිත් ළමයින්ට වගේ නෙවෙයි අපි දෙන්නට හොඳට සල්ලි තිබුනා. අපිට පොත්, පෑන්,
පැන්සල්, බෑග්, සපත්තු, ඇඳුම් මේවයින් අඩුවක් තිබුනේ නෑ. අවුරුද්ද මුලදි ඕන කරන
පොත් ඔක්කොම ගන්නවා අක්කා ඒවට ලස්සනට පිටකවරත් දමලා දෙනවා. හැබැයි අවුරුද්ද ඉවර
වෙනකලුත් අපි ඔය පොත් වල මොනවත් ලියන්නෙ නෑ. චිත්‍ර පොත විතරයි ඉවර වෙන්නෙ.
හයේ පන්තියට
එනකොට අපි දෙන්නට එක අකුරක්වත් ඉලක්කමක්වත් ලියන්න බෑ. එක - පහ වගේ නෙවෙයි හය
කියන්නේ වෙනස්ම පන්තියක්. පන්තිභාර මැඩම් විතරක් නෙවෙයි අපිට උගන්වන්න මැඩම්ලා
සර්ලා ගොඩක් එනවා.
හයේදි තමයි
ඔය පෙරළිය වුනේ. ඉංග්‍රීසියි ගණිතයයි අපිට ඉගැන්නුවෙ අපේ පන්තිභාර මැඩම්. (මැඩම්
ගණිතය ඉගැන්නුවෙ ගණිතයට ගුරුවරයෙක් නැති නිසාලු. මම ඒක පස්සෙ දැන ගත්තෙ.) ආ... ඒ
අපේ ප්‍රියතම විෂයන්නේ. අපි දෙන්නා පැන පැන උත්තර දෙන්නෙ. හැබැයි ලියන්නෙ නෑ. මැඩම්
බෝඩ් එකේ ගාන ලියනකොට අපි උත්තරේ කියලා ඉවරයි.
මැඩම් අපිට
වැඩක් දීලා පන්තිය පුරාම ඇවිදිනව. එක එක්කෙනාගෙ පොත් වලට එබෙනවා. වැරදි අඩුපාඩු
පෙන්නනවා. අන්තිම පේළියේ අපි දෙන්නා ඉන්න බිත්තිය අයිනේ කෙළවරටත් එනවා. අවුරුදු
පහකට පස්සෙ ඔන්න අපි දෙන්නා අහු වුණා.
“ඇයි
ලියන්නෙ නැත්තෙ?“
“අත රිදෙනවා
මැඩම්“
මම මගේ
සුපුරුදු බොරුව කිව්වෙ දකුණු අත වම් අතින් මිරිකගෙන මූණත් බෙරි කරන්.
“දෙන්නගෙම
?“
මැඩම් ඇහුවෙ
මල්ලිගෙ දිගෑරලා තිබුන හිස් පොත අතට ගන්න ගමන්.
“ නෑ මැඩම්.
ලියන්න පෑනක් නෑ“
මල්ලිත්
නැගිටලා හරිම අහිංසක විදිහට බිම බලාගෙන එයාගෙ බොරුව කිව්වා.
(අපි දෙන්නට
හොඳට රඟපාන්නත් පුළුවන්)
“පෑනක් නෑ!
නැති වෙන්න නම් බෑ! මම දැක්කා උදේ කැන්ටිමෙන් හොඳට සල්ලි වියදම් කරලා කනවා.“
මැඩම්
හෙමිහිට කිව්වෙ මල්ලි දිහා විමසිල්ලෙන් බලන ගමන්.
“ඔයාලා කවුරුහරි ළඟ වැඩිපුර පෑනක් තියෙනවා නම්
මෙයාට දෙන්න“
මැඩම්
පන්තියටම ඇහෙන්න හයියෙන් කියන ගමන් වටපිට බැලුවා.
ළමයි
එක්කෙනා දෙන්නා හිනාවෙන්න පටන් ගත්තා.
“මැඩම් ඔය
බොරු. ඔය දෙන්නා කවදාවත් ලියන්නෙ නෑ.“
ඉස්සරහම
පේළියෙ හිටපු කුෂාණි, හැමෝගෙම දේවල් වලට කට දාන පන්ඩිත ආච්චි, නැගිටලා හයියෙන්
කිව්වා.
“ඇත්තද මේ
කියන්නෙ?“
මැඩම් ආයෙත්
අපි දිහාට හැරිලා ඇහුවා.
අපි දෙන්නා
සීරුවෙන් හිටගෙන. ඒත් බිම බලාගෙන.
“එයාලට
සල්ලි තියෙනවා. පෑනක් නෑ කියලා බොරු කියන්නෙ“
“පෑන් එකක්
නෙවෙයි ගොඩක් තියෙනවා රවින්දට“
“මැඩම් බෑග්
එක බලන්න. පෑන් තියෙනවා“
“ඒ ගොල්ලො
අකුරු දන්නෙ නෑ“
“කිසිම
විෂයක ලියන්නෙ නෑ“
“එයාලා
ලියන්න දන්නෙ නෑ“
“පහළ පන්ති
වලදිත් ලිව්වෙ නෑ“
“උත්තර
කියන්න විතරයි දන්නෙ“
පන්තියේ එක
එක්කෙනා අපි දෙන්නා ගැන විචාර දුන්නා.
“වෙන්න බෑ.
මේ දෙන්නා දක්ෂයිනේ. කෝ ගන්න බලන්න ඔයාලගෙ අනිත් පොත්“
මැඩම්
පරීක්ෂණ ඇරඹුවා.
අපි දෙන්නා
මේසෙ යට ලාච්චුවෙ ලස්සනට අහුරලා තියාගෙන තිබුණු පොත් ගොන්න මේසෙ උඩින් තිබ්බා.
මැඩම් අපේ ලස්සනට පිටකවර දමලා තිබුණු අලුත්ම අලුත් පොත් අරගෙන එකින් එකේ පිටු
පෙරලුවා. මම විඳින්න ආසම නැවුම් පොත් සුවඳ, බිම බලාගෙන හිටපු මගේ නාස් පුඩු පසාරු
කරගෙන පෙනහලු වලටම ගියා. ඒ සුවඳ තවත් උරාගන්න මම දිග හුස්මක් ගත්තා.
“මේ ලස්සනට
චිත්‍ර ඇඳලා තියෙන්නෙ. පොත් ටික හරිම පිරිසිදුවට තියාගෙන ඉන්නවනේ. දැන් වාඩිවෙන්න
දෙන්නා“
කියපු මැඩම්
අපි දෙන්නගෙ ඔළුගෙඩි දෙක අතගාලා ආපහු ගුරු මේසෙ ළඟට ගියා. ආයෙත් අපි ගැන හෙව්වෙ
නෑ. වැඩ ඉවර කරපු ළමයින්ගෙ පොත් බැලුවා. පීරියඩ් එක ඉවර වුනාම ආයුබෝවන් කියලා
ගියා.
“අපි දෙන්නා
සැනසිල්ලේ හුස්මක් ගත්තා“
............................................................................................................................................................
ඉස්කෝලෙ
ඇරෙන්න බෙල් එක ගැහුවම මැඩම් පන්තිය ළඟට එනවා ළමයි හරියට ගාථා කියනවද බලන්න. අපි
දෙන්නා තමයි හයියෙන්ම තාලෙට ඡත්ත මානවක ගාථා කියන්නේ. උදේටත් එහෙමයි හයියෙන් තාලෙට
හාමුදුරුවෝ කියනවා වගේ ගාථා කියන්නෙ අපි දෙන්නා. උදේ හවස පන්සලේ ගැවසෙන අපිට එහෙම
බැරිනම් තමයි පුදුම වෙන්න ඕන.
පන්තියේ
එළියෙ ඉඳන් මැඩම් තාලෙට ගාථා කියන අපි දෙන්නා දිහා බලා ඉන්නවා මම හොරැහින් දැක්කා.
ඒ ඇස් ආදරෙන් දිලිසුන බවත් මගේ හොර ඇහැට අහුවුණා.
අන්තිම
පේළියෙ හිටියට පන්තියෙ දොරෙන් මුලින්ම එළියට පනින්නෙ අපි දෙන්නා. අපිට හදිස්සියි
ගෙදර යන්න. ඉක්මනට ගිය තරමට අපිට වාසියි.
අපි දෙන්නා
එළියට පනිනකොටම මැඩම් අපි දෙන්නා අත් දෙකට අල්ල ගෙන අයිනකට කර ගත්තා. ළමයි ඔක්කොම
ගියාට පස්සෙ අපි දෙන්නව පන්තිය ඇතුලට එක්කරගෙන ගියා.
“ගෙදර යන්න චුට්ටක්
පරක්කු වුනාට කමක් නෑනේ.“
අපි දෙන්නගෙ
බෑග් දෙක කරෙන් ගලවලා ඩෙස්ක් එකක් උඩින් තියපු මැඩම් කිව්වා. අපිටත් ඉඳගන්න අතින්
සන් කරපු මැඩම් පුටුවක ඉඳගත්තා. පරක්කු වුනාම අපිට වෙන පාඩුව දන්නෙ අපිනේ. අපි
දෙන්නා මූනෙන් මූණ බලා ගත්තා.
“මට
කියන්නකෝ ඔච්චර ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තෙ කාගෙන්ද කියලා.“
කිව්වට
ඉඳගත්තෙ නැති අපි දෙන්නව අත් දෙකෙන් ඇදලා ලං කර ගත්තු මැඩම් ඇහුවා. මතක ඇති කාලෙක
අම්මටවත් අපි එච්චර ලංවෙලා තිබුනේ නෑ.
“මැඩම් අපි
පේරාදෙණියෙ ගා(ර්)ඩ්න් එක ළඟනේ ඉන්නෙ. සුද්දො එක්ක කතා කරලා තමයි ඉංග්‍රීසි කතා
කරන්න පුරුදු වුනේ. අපේ අම්මටත් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්.“
මල්ලි මැඩම්
එක්ක හුරතල් වුනා.
එතකොට ඔය
කැල්කියුලේටරේ වගේ ගණන් හදන්නෙ?
“අපි
පොඩිකාලේ ඉඳන්ම අම්ම එක්ක ගණන් හදනවා“
“ඒ කිව්වෙ
......... අම්මා ගණන් ටීච කෙනෙක් ද?“
“නෑ ... නෑ
..... කස්ටමර්ස්ලට ටෝටල් කියන්න එකතු කරනවා. බැලන්ස් එක කියන්න අඩු කරනවා.“
“හරි හරි මට
තේරුනා..... අම්මගෙ බිස්නස් එකට ඔයාලා උදව් කරනවා.“
අපි දෙන්නම
ඔළුව වැනුවා.
“දැන් අපි
යන්නද මැඩම්?“
මට
හදිස්සියි යන්න.
“හරි යන්න“
මැඩම්ගෙ
කටින් වචනෙ පිටවුන ගමන්ම අපි දෙන්නා බෑග් දෙක කරේ දාගෙන මැඩම්ට දණ ගහලා වැඳලා
එළියට පනින්න හැදුවේ. ඒත් මැඩම් ආයෙමත් අපිව නැවැත්තුවා.
“හෙට එනකොට
අම්මට කියලා එන්න ඕනෑ පැයක් පරක්කු වෙනවා කියලා. උදේ කැන්ටිමෙන් වැඩිපුර කෑම ටිකක්
අරන් හවසට කන්නත් තියාගන්න ඕනෑ.
“ඒ මොකද
මැඩම්? ඇයි අපි පැයක් වැඩියෙන් ඉන්නේ?
අපි දෙන්නම
ඇහුවෙ එකට. හවස පැයක් කියන්නේ අපිට දෙතුන් දාහක් පාඩුයි.
“හෙට ඉඳන්
අපි හවස නැවතිලා අකුරු ඉලක්කම් ලියන්න ඉගෙන ගන්නවා.“
මැඩම්
කිව්වෙ අපි දෙන්නගෙම කරට අත් දාගෙන.
මුලදි
මැඩම්ට බෑ කියන්න බැරිකමට නැවතුණත් පස්සෙ පස්සෙ අපිත් ඒකට ඇබ්බැහි වුණා. අකුරක්
ඉලක්කමක් ලියන්න පුළුවන් වෙනකොට, වචනයක් දෙකක් ගලපලා කියවන්න පුළුවන් වෙනකොට පුදුම
සතුටක් දැනුනේ. අපි හවසට මැඩම්ටත් එක්ක කන්න දේවල් ගන්නවා. අපි කකා ඉගෙන ගන්නවා.
“උඹලා
දෙන්නා අම්මගෙ ලාච්චුවට බැහැලා හිතේ හැටියට සල්ලි අරන් එනවද නැත්නම් අම්මා හිතේ
හැටියට උඹලට සල්ලි දෙනවද?“ (දැන් මැඩම් අපිට කතා කරන්නෙ එහෙම. ඒ තරමට අපිත් එක්ක
යාළුයි.)
එක දවසක්
හවසට කන්න අපි ගෙනල්ල තිබුන ඒවා දැකලා මැඩම් ඇහුවා. කලින් දවස අපට බිස්නස් සරු වුන
දවසක්. අපි එන ගමන් රෝයල් මෝල් එකෙන් මැඩම්ටත් එක්ක ෂෝට්ඊට්ස් ගෙනාවා. ඉස්කෝලෙ
කැන්ටිමේ කෑම වගේ නෙවෙයි රෝයල් මෝල් එකේ කෑම රසයි මිලයි. ඒ කෑම දැකලා තමයි මැඩම්
එහෙම ඇහුවෙ.
මැඩම්ගෙ
කතාවට අපි දෙන්නම හිනාවුනා.
“උඹලා
හොරකම් කළාද?“
අපෙන්
උත්තරයක්නැතුවම, මැඩම් ටිකක් සැරෙන් ඇහුවා.
“අනේ නෑ
මැඩම්“ මම ඉක්මනට කිව්වා.
“අපි වියදම්
කරන්නෙ අපේ සල්ලි. අම්මගෙ සල්ලි නෙවෙයි“
මල්ලි
කිව්වා.
“අපි
බිස්නස් කරලා හොයන සල්ලි“ මම පැහැදිලි කළා
“උඹලා මොනවද
කරන බිස්නස්?“
මැඩම් ඇහුවෙ
තව ටිකක් අපේ පැත්තට හැරිලා
“අපි ගාඩ්න්
එක ළඟ ගැටඹේ පන්සල ළඟ එක එක ඒවා විකුණනවා“
“එක එක ඒවා
කිව්වෙ?“
“පළතුරු.
අඹ, රඹුටන්, ගඩුගුඩා, මැංගුස් වගේ. ඒ ඒ කාලෙට තියෙන දේවල් විකුණනවා. මේ දවස්වල
සීසන්නේ. ඊයේ අපට බිස්නස් සරුයි. ගොඩක් සල්ලි හම්බ වුණා. ඒකයි ගොඩක් දේවල්
ගෙනාවේ.“
“උඹලා
කුඩු එහෙම විකුණන්නෙ නැහැනේ. ඇත්තනේ ඔය
කියන්නේ.“
මැඩම් ඇහුවෙ
සැකෙන්.
“නෑ නෑ
මැඩම්. අපි ඇත්තමයි කියන්නේ. අපි කුඩු විකුණන්නෙ නැ.“
“මම හොයනවා.
මොනවාහරි නිති විරෝදි වැඩක් කරලා තිබුනොත් බලාගන්න පුළුවන්.
හරි. උඹලගෙ
ඔය බිස්නස් එකෙන් දවසකට කීයක් විතර හොයනවද කියපල්ලකෝ? දැන් මේ කෑම ටිකටත් දාහකට
වැඩියෙන් වියදම් කරලනේ.“
මැඩම් ඇහුවේ
මේසෙ උඩ තිබුන පාර්සලෙන් පැටිස් එකක් අතට ගන්න ගමන්.
“ දාහකට
අඩුවෙන් නම් කවදාවත් හොයලා නෑ. අපි හතට බිස්නස් නවත්වනවා. රෑ වෙනකන් හිටියොත් තවත්
හොයන්න පුළුවන්. සමහර දවස්වලට පන්දාහක් විතර හොයලත් තියෙනවා. ඉරිදට තමයි හොඳට
බිස්නස් තියෙන්නෙ. සුද්දදොන්ට බිස්නස් කරන එක ගොඩක් ලාභයි. එයාලා ගණන් කරන්නෙ
නැතුව සල්ලි දෙන්නෙ. ඉතුරු සල්ලි ගන්නෙත් නෑ. මේ කාලෙට අපි හොඳට හම්බ කරනවා.“
මම අපේ ව්‍යාපාර
ගැන පැහැදිලි කිරීමක් කළා.
“ඉතින් ඔය
සල්ලි වලින් කන එක විතරමද කරන්නේ?“
“නැ අපි
අක්කට ත් කීයක් හරි දෙනවා. අක්කා තමයි අපේ ඇඳුම් හෝදලා අයන් කරලා දෙන්නේ. ඉතුරු
ටිකෙන් අපිට ආස දේවල් ගන්නවා, කනවා තමයි.“
“හෙට ඉඳන්
මටත් කීයක් හරි ඕනෑ“
මැඩම් ටිකක්
කල්පනා කරලා කිව්වා.
“හා. අපි
දෙන්නම්.“
අපි දෙන්නම
කිව්වෙ එකවර. අපි හරිම ආසයි මැඩම්ට උදව් කරන්න.
“ මෙහෙමයි.
දාහට වැඩියෙන් උපයන හැමදාම මට දෙන්නගෙන් තුනෙන් එකක් ඕනෑ. අක්කටත් කීයක්හරි නෙවෙයි
තුනෙන් එකක් දෙන්න. ඉතුරු තුනෙන් එක ඔයාලා වියදම් කරන්න.“
“ඒ කියන්නෙ
අපිට හම්බවෙන සල්ලි සමාන ගොඩවල් තුනකට දමලා එකක් මැඩම්ට එකක් අක්කට එකක් අපිට.
එහෙමනේ“
මම ඇහුවේ
පැහැදිලි කර ගන්න.
“හරියටම
හරි“
මගේ පිටට
තට්ටුවකුත් දාගෙන මැඩම් පන්තිය පටන් ගන්න නැගිට්ටා.
පහුවදා ඉඳන්
අපි හැමදාම අපේ ආදායමෙන් තුනෙන් එකක් මැඩම්ට ගෙනත් දුන්නා.
හයේ
තුන්වෙනි වාරේ වෙනකොට අපි දෙන්නට හොඳට අකුරු ඉලක්කම් ලියන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි
දෙකම කියවන්නත් පුළුවන්. අනිත් ගුරුවරුත් ටිකෙන් ටික අපි දෙන්නට අවධානය දෙන්න පටන්
ගත්තා ඒ විතරක් නෙවෙයි අපි දෙන්නා ඉස්කෝලෙට නැතුවම බැරි ළමයි දෙන්නෙක් වුණා. අපි
දෙන්නා නැති දවසට උදේට හවසට ඉස්කෝලෙ ස්පිකර් එකෙන් තාලෙට ගාථා ඇහෙන්නෙ නෑ. රවින්ද
එරන්ද ඉස්කෝලෙ හැමෝම දන්න හැමතැනම ඉන්න චරිත දෙකක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ඉස්කෝලෙ
සංගීත කණ්ඩායමටත්, කණිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයටත් අපි තෝරගත්තා. ඒ අපේ මැඩම්ගෙ
උත්සාහය තමයි.
හයෙන් හතට
ගියේ අපි දෙන්නා පන්තියේ එක සහ දෙක වෙලා. හතේදි ගණිතයට අපිට වෙන මැඩම් කෙනෙක්,
පන්ති භාරත් වෙන මැඩම් කෙනෙක් ඉංග්‍රීසි වලට විතරයි මැඩම් අපේ පන්තියට ආවේ. ඒත්
අපේ ආදරේ මැඩම් එක්ක හැමදාම තිබුණා. අපේ හවස පන්තිය නැවැත්තුවෙත් නෑ. ඒ වෙනකොට
අපිට අකුරු ඉලක්කම් ඉගෙන ගන්න අවශ්‍ය වුණේ නෑ. අපි හවසට කළේ එදිනෙදා පාඩම් වල
නොතේරුණ තැන් මැඩම්ගෙන් අහගන්න එක. ආ. අපේ ආදයමෙන් තුනෙන් එකක් මැඩම්ට දෙන එක
නැවැත්තුවෙත් නෑ.
අපි දහයෙ
පන්තියට යනකොට තමයි ඒ කණගාටුදායක සිද්ධිය වුණේ. මැඩම්ට ස්ථාන මාරුවක් ලැබිලා අපෙන්
සමුගන්න සිදුවුණා.
යන්න කලින්
අපි දෙන්නට මැඩම් වෙනම කතා කළා. අපේ ආදයමෙන් තුනෙන් එකට කරපු දේ ත් කිව්වා. ඒකටනම්
අපි හොඳටම පුදුම වුණා. අපි හම්බකරාට කවදාවත් ඉතුරු කරන්න ඕන කියලා හිතුවෙ නෑ.
මැඩම් තැපැල් කන්තෝරු ඉතිරිකිරීමේ පොත් දෙකක් අපි දෙන්නා අතේ තිබ්බා. ඒ පොත් වල
ශේෂය දැක්කම තමයි අපේ ඇස් උඩ ගියේ. අපි මෙච්චරම සල්ලි හෙව්වද? මැඩම් නොහිටියනම් මේ
සල්ලි ත් අපි නාස්ති කරලා විතරක් නෙවෙයි අපිත් නාස්ති වෙලා.
පන්ලක්ෂ
විසිපන්දහසක ශේෂ තියෙන ඉතිරි කිරීමේ පොත් දෙක අතේ තියාගෙන අපි දෙන්නා හොඳටම ඇඬුවා.
මැඩම්ව බදාගෙන ඇඬුවා.
“ඔය පොත්
වලට හැමදාම ආදයමෙන් තුනෙන් එකක් දමන්න ඕනෑ. හොඳ ඕ ලෙවල් ප්‍රතිඵලයක් අරන් මට කෝල්
කරලා කියන්න ඕනෑ.“
මැඩම්ගෙ
අන්තිම ඉල්ලීම් දෙක.
ඉතින් මට මේ
ඔක්කොම මතක් වුනේ මැඩම් මගෙ ළඟට බෙහෙත් ගන්න ආවම.
“මැඩම්ගෙ අවසාන
ඉල්ලිම් දෙක විතරක් නෙවෙයි ඊටත් වැඩිය දේවල් අපි කළා. ඒ හැමදේටම අපි මැඩම්ට ණය
ගැතියි. මැඩම් පටන් අරගෙන අපි ඉතුරු කරපු මුදල් වලින් තමයි අපි දෙන්නා වෛද්‍ය විද්‍යාලයේ
වියදම් පියවා ගත්තේ. වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුනාට පස්සෙ අපි දෙන්නට පරණ බිස්නස්
එක කරන්න විවේකයක් නැතිවුණා.“
තේ බොන ගමන්
මම මැඩම් එක්ක කිව්වා. පෝලිමේ හිටපු ලෙඩ්ඩු ටික යාළුවට බාර දීලා මම ආවා මැඩම් එක්ක
කැන්ටිමට. ටිකකින් වෝඩ් රවුන්ඩ් ගියපු මල්ලිත් ආවා.
රවින්ද.
එරන්දගෙ වගේම සිය දහස් ගණනක ඉරණම වෙනස් කරපු දේවතාවියට අපි දණ නමලා වැන්දා. ඒ
වයෝවෘද්ධ දෑස් ඉස්සර වගේම ආදරයෙන් දිලිසුණා.
-නිමි-
No comments:
Post a Comment
ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)