Wednesday, June 3, 2026

කලු කම්සය

 කලු කමිසය

“කාගෙද මේ කමිසේ? ඇත්ත කියනවා!

බත් පාර්සල් දෙක ද රැගෙන කාමරයට පිවිසි මා දෙසට හැරුණු ඔහු ගුගුළේය. විවාහ වී වසරකට ආසන්න කාලයක් ගෙවුණත් ඔහු මෙතරම් රෞද්‍ර ආකාරයෙන් මා ඇමතූ දිනයක් නොවිණි. අනපේක්ෂිත මොහොතක ඔහු මා වෙත වීසිකළ කෝපයෙන් බෙහෙවින් කැළඹුන මම පසුපසට පියවරක් තබා උළුවස්සට හේත්තු වුනෙමි. දෑතින්ම අල්ලාගත් කමිසයක් ඉහළට ඔසවා මා වෙත පාමින් ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි. ඔහුගේ පසෙකින් ඔහුගේ නැගණිය බියපත් වතින් මා දෙස බලා සිටියි.

……………………………………………………………………………………………………………………………………………………

“අක්කි ඔයා ළඟ කළුපාට බ්ලවුස් එකක් නැද්ද?“

රැකියාවට යාමට සූදානම් වී අප දෙදෙනාගේ කෑම පාර්සල් දෙක ඔතාගෙන ඒම සඳහා මුළුතැන් ගෙට ගිය මගෙන් ඔහුගේ නැගණිය විමසුවාය.

“මමනම් දැකලා නෑ ඒ දරුවා කළුපාට අඳිනවා“

මම නැගණියට යමක් පැවසීමට පෙර ඔහුගේ මව පැවසුවාය.

“මම හිතන්නේ මම ළඟ නෑ. ඇයි නංගි උද්ඝෝෂණයකට වත් යන්නද?“

මම මව සූදානම් කර තිබූ කෙසෙල් කොල දෙකට බත් බෙදන ගමන් විමසුවෙමි.

“ඔව් අක්කි අර පිකටින් එකට හැමෝටම කළුපාට ඇඳගෙන එන්න කිව්වනේ. අක්කි, මම ඔයා මෙහෙ එනකොට ගෙනාව බෑග් වල තිබුණු ඇඳුම් අල්මාරියෙ අහුරද්දි දැක්කා වගේ මතකයි කළුපාට ඇඳුමක්.  ඔයා ඉස්සර පිකටින් වලට අඳින්න ඇතිනේ“

“අම්මෝ නංගි! මට ඕවා තහනම්නේ. ඒත් ඔයා මගේ අල්මාරියේ කළු ඇඳුමක් දැක්කනම් ගිහින් බලන්න“

“කමක් නැද්ද අක්කි?“

අසුනින් නැගිට ගත් ඇය සිනාසෙමින් විමසුවාය. හිසවනා සිනාවකින්ම ඇයට අනුමැතිය දුන් මම මගේ කාර්යයේ නිරත වීමි. සිදුවූ දෙය පැහැදිලිය. නැගණිය මගේ අල්මාරියෙන් සොයාගත් කළු ඇඳුම මෙම කමිසය විය හැක.

“මොකද තමුසෙ ගොළු වෙලා ද?“

තවත් පියවරක් මා වෙත ළං වූ ඔහු නැවතත් ගුගුළේය.

“අනේ අයියා!“

ඔහුගේ අතේ එල්ලුන බියපත් වූ නැගණිය පසෙකට තල්ලු කළ ඔහු, අතවු කමිසය පොළවේ ගසා මගේ දෙවුරින් අල්ලා වැරෙන් සොලවන්නට විය.

“ඇත්ත කියනවා. මෙහෙම පරිස්සම් කරලා තියා ගත්තෙ තමුසෙ ගොඩක් ආදරය කරන, අමතක කරන්නම බැරි කෙනෙක්ගෙ කමිසයක් වෙන්න ඕනනේ. මාත් එක්ක හිටියට හිතෙන් ඉන්නෙ ඌත් එක්කද?“

ඔහුගේ පතිනිය වීමට පෙර කිසිම පිරිමියෙක් ඇසුරු නොකළ, ඔහුගේ පතිනිය වූ දා සිට මගේ ලෝකයම ඔහු වුනු මා හට ඔහු නගන මෙම අභූත චෝදනාව කෙසේ දරාගන්නද? හිතට දැනුන දුක කදුළු වී එළියට පනිනු වැළැක්විය නොහැකි විය.

“හා. අඬනවා! අඬනවා ! ඔය කදුළු වලට මාව තම්බන්න බෑ“

මගේ දෙවුර අත්හළ ඔහු  හිසකෙස් අවුල් කර ගනිමින් කාමරය පුරා ඇවිදින්නට විය.

“ මම දන්නවානේ තමුසෙට සහෝදරයෙක් නෑ. තමුසෙගෙ යෝධ අප්පච්චිට මේ කමිසෙ අඳින්න බෑ.“

ඔහු වටයක් කැරකී නැවතත් මා දෙසට හැරෙමින් ගුගුළේය.

“ අනේ අයියා. අපි දන්නෙ නැහැනේ අංකල් තරුණ කාලේ දැන් තරම් මහත නැද්ද කියලා. ඕක පරණ ෂර්ට් එකක් නේ.“

“උඹ පලයන් පැත්තකට මේකිව සුද්ධ කරන්න එන්නෙ නැතුව. ඌ තරුණ කාලේ කෙට්ටු වුණත් මහත වුණත් ඩබල් පොකට් අඳින්නේ නෑ. ඌ තනතුරේ අභිමානයෙන් ඔලුව ඉදිමිච්ච හමුදා කාරයෙක්. වලව්මානේ ඔලුවට ගැහුව උද්ධච්ච රදලයෙක්. අපේ අප්පච්චිගෙ වලව් වාසගමට තමයි ඌ මට කැමති වුනෙත්. මේ කමිසෙ උද්ධච්ච වලව් කාරයෙක්ගෙවත් ආඩම්බර හමුදාකාරයෙක්ගෙ වත් නෙවෙයි මේකි කැම්පස් යන කාලෙ ලව් කරපු රැඩිකල් පොරක්ගෙ  “

 “මොනවද අයියා ඔය කතා කරන විදිහ. අනේ අක්කි සොරි. මේ ඔක්කොම මම නිසා.“

ඔහුගේ නැගණිය විස්සෝප වූවාය.

“තමුසෙට ඕනම දේකට උත්තරයක් දෙන්න සෑහෙන වෙලාවක් යනවනේ. හිතලා හිතලා, තටමලා තටමලා නේ උත්තරයක් දෙන්නේ. ඒ නිසා මම තමුසෙට හිතන්න පැය බාගයක් දෙනවා. හරියටම පැය බාගෙකින් මට මේ කමිසේ කාගෙද කියලා කියන්න ඕනෑ.“

ඔහුගේ දබරැගිල්ල මගේ මුහුණට ලංකර පැවසූ ඔහු වේගයෙන් කාමරයෙන් පිට විය.

“පාරමී. තමුසෙත් ගිහින් තමුන්ගෙ වැඩක් බලා ගන්නවා.“

ගිය පයින්ම ආපසු පැමිණි ඔහු සිය සොයුරියට ද ගුගුරා පිට විය. වෙව්ලන දෙපා පාලනයෙන් තොර වූයෙන් මම යහන වෙත ඇවිද ගොස් හිඳ ගතිමි. දෙදන මත වැලමිට තබාගෙන දෑත මත මුහුණ හොවාගත් මම කාමරය මැද බිම වැටී ඇති, කලු කමිසය දෙස හැඟීමකින් තොරව බලා සිටියෙමි.

කමිසයක්!  මගේ අල්මාරියට ආවේ කොහෙන්ද ..................................?

බිම වැටී ඇති කලු කමිසය ඇහිඳ ගත් මම එය ඉහළට ඔසවා හොඳින් පිරික්සීමී.

ඩබල් පොකට් කලු කමිසය........?

දෙවියනේ!

වැලමිට තෙක් දෙඅත් නැමූ ඩබල් පොකට් කලු කමිසය හැඳි මගේ වීරයා!

සහෝදර සිසුන් පිරිවරාගෙන විශ්ව විද්‍යාල භූමියේ කලබලයෙන් ඇවිද ගිය උස හීන්දෑරි තරුණයා!

විශ්ව විද්‍යාලයේ හැම අරගලයක්ම මෙහෙය වූ ශිෂ්‍ය නායකයා!

නවකවදයෙන් මා ගලවා ගත් මගේ ඉෂ්ඨ දේවතාවා!

සිනමා පටයක පින්තූර රාමු සේ ඒ අතීතය මගේ දෑස් ඉදිරියේ මැවෙන්නට විය.

........................................................................................................................................................

තෙත බරිත වූ සුදුපාට බ්ලවුසය ඇඟට ඇලී ඇත. මා වටකර ගත් කොළු රැල කොක් හඩලා සිනාසෙයි. ඔවුන් ඉදිරියේ මා නිරුවත් වී ඇත. කළයුතු අන් කිසිවක් සිතාගත නුහුනු මම වහා කියවමින් සිටි පොත පපුවට තුරුළු කර ගතිමි. තෙත බරිත වූ පොත මගේ විළි වැසීමට ප්‍රමාණවත් නොවේ. බියට සහ ලජ්ජාවට පත් වූ මාගේ සියොළඟම වෙව්ලන්නට විය.

“සීගිරි සුකුමා....ලී ............... කොළු රැළ ගී ගයයි.

වහා හිඳ සිටි බංකුව මතට දෙකකුල් ගෙන කළුපාට ප්ලෙයාඩ් සායෙන් දෙපතුල දක්වා වසා ගත් මම වකුටු වී හිස දෙදණේ ඔබා ගතිමි.

තෙත බරිත වී ඇඟට ඇලුණු සුදුපාට බ්ලව්සයෙන් මාගේ පිට විනිවද පෙනෙන බව මම දනිමි.  එහෙත් ඔවුන් ඉදිරියේ මා තව දුරටත් සීගිරි අප්සරාවක් නොවීම මඳ අස්වැසිල්ලකි.

ගායනය නැවතුණි. කසු කුසුවක් ඇසේ.

“කෝ.... පැත්තකට වෙයල්ලා. මොකක්ද මෙතන වෙන්නෙ?“ ගැඹුරු කටහඬක් ළං වේ.

ගෙවී ගිය රබර් පාවහන් පැළඳූ, වාටිය ගෙවී ගිය අව පැහැවුණු නිල් ඩෙනිමක් සහිත කකුල් දෙකක් මා අසළ නතර වි ඇත.

“පර බල්ලෝ! “

“බලු වැඩ කරන්න එපා යකුනේ! “

“උඹලට අක්කලා නංගිලා නැද්ද? “

“අවජාතකයෝ! “

ඔහු ගුගුරයි. මගෙ සිත සියුම් සතුටකින් පිරී යයි. නන්නාදුණන පිරිසක් අතර මා අසරණ වී නැත.

කිසිවකින් මගේ පිට වැසෙනු දැනේ. කළුපාට අත් දිග කමිසයක අඩක් නැමුණු අත් දෙකක් මගේ උරහිස දෙපසින් වැටී ඇත.

“ඇඳ ගන්න“ ගැඹුරු කටහඬ සෙමෙන් පවසයි.

“ නැගිටලා ඇඳගන්න“ කාරුණික අණකි.

මම සෙමෙන් හිස එසවූවෙමි. නිරුවත් උඩුකය සහිත තරුණයෙක් මට පිටු පා සිටගෙන සිටි. ගී ගැයූ, සිනාසුණු  තරුණයෝ කිසිවෙකු පෙනෙන්නට නැත.

මම වහා තෙත බ්ලවුසයට උඩින් කලු කමිසය හැඳ ගතිමි. දෙපා පහලට ගෙන බංකුවේ සීරුවෙන් වාඩි වුනෙමි.

“ තැන්ක්යූ අයියා“ මගේ වෙව්ලන හඬ ඉතාමත් අපහසුවෙන් අවදි කළෙමි.

“පරයෝ“

බංකුවේ අනෙත් කෙලවරෙන් වාඩි වුණ මගේ ඉෂ්ඪ දේවතවෝ බංකුව මත වූ දියවුණ පොත අතට ගෙන කෝපයෙන් මිමිණීහ.

“දැන් නංගි හොස්ටල් එකට ගිහිල්ලා ඔය ඇඳුම් මාරු කරගන්න. හොදටම තෙමිලනේ“

“ අයියා මම හොස්ටල් නෙමෙයි. ගෙදර ඉඳන් එන්නෙ. මම ඊළඟ ලෙක්චර් එකට ඉන්නෙ නැතුව ගෙදර යනවා“

“ කොහෙද ගෙවල්?“

“ මාතලේ“

“ මාතලේ ට බස් දෙකක යන්න ඕනනේ. ඔහොම කොහොමද යන්නෙ වතුර පෙර පෙරා“

“ මෙහෙම ටිකක් ඉන්න කොට වේලෙයි“

“ මෙහෙ එනවා!“ වට පිට බැලූ ඔහු නැගිට ගොස් අත් පුඩි ගසා යමෙකු කැදවීය.

“ හොස්ටල් ද යන්නෙ?“

“ එහෙමයි ජ්‍යෙෂ්ඪ උතුමාණනි“ 

“ අයියා කියපං“ ඔහු ගිගිරීය.

“ එහෙමයි ජෙ.. අ.යි..යා“

“ දැන් හොස්ටල් එකට දුවලා පලයන්. මේ කමිසෙ උඹට හෙට ලැබෙයි.“

“ යමු“ නවක ශීෂ්‍යයාගෙන් පැහැරගත් කමිසය හැඳගත් ඔහු මා ඇමතීය.

“යමු මම අඳුරන ත්‍රීවීල් එකකට නග්ගවන්නම්“ මගේ මුහුණේ ප්‍රශ්නාර්තය දුටු ඔහු පැහැදිලි කළේය.

තෙත බරිත වූ පොත ද බෑගයට ඔබාගත් මම ඔහු පිටුපසින් ඇදුනෙමි.

“මේ නංගිව පරිස්සමින් ගෙනිහින් බස්සවන්න ඕනෑ. සල්ලි ගන්න එපා. ආවම මම සල්ලි දෙන්නම්“

ඔහුගේ දුරකතන ඇමතුමට අසළ නැවතුන තුන් සක රියදුරුට ඔහු පැවසීය.

______________________________________________________________________________

සෝදා වියළා ගත් කමිසය ස්ත්‍රික් කර හොඳින් ඔතා බෑගයේ අසුරා ගත්තේ පසු දින ඔහු සොයා ගොස් බාරදීමටයි. විශ්ව විද්‍යාලයට ගිය සෑම දිනකම මගේ නෙත් ඔහු සොයයි. කිප දිනක්ම ඒ උස සිහින් ශරීරය, කැරළි හිසකෙස්, මුහුණ පුරා වැවුණ රැවුල, කලු කමිසය, නිල් ඩෙනිම, ගෙවුන සෙරෙප්පු මා පසුකර ගියත් මට ඔහුට ළඟා විමට නොහැකි විය. ඒ හැම මොහොතකම ඔහු පිරිවරා ගත් පිරිසක් විය. වරෙක පිරිසකට දේශන පවත්වන අතර, වරෙක පිරිසක් පිරිවරාගෙන ගලහා හන්දියේ අට්ටාලයක සිටී. තවත් වරෙක කොළඹ නුවර පාරේ උද්ඝෝෂණයක සිසුන් මෙහෙයවයි. දේශන ශාලාවකින් ඇතුළට යන සහ එළියට එන අවස්ථා ද දුටුවද ඔහු හඹා ගොස් කතා කිරීමට තරම් ආත්ම ශක්තියක් මා සතු නොවීය. මුහුණට මුහුණ හමු වුවද බාලිකා පාසලක උගත්, වඩා සමාජශීලී නොවුන,  පිරිමි ළමුන් ඇසුරු නොකළ යුවතියක් වූ මා හට හිස ඔසවා ඔහු දෙස බැලීමටත් හැකි වේදැයි සැක සහිතය.

වසර දෙකක් මා සමඟම සරසවි ගිය කමිසය, කෙසේ හෝ ඔහු සරසවියෙන් සමු ගැනීමට පෙර දියයුතු යැයි මම අදිටන් කර ගතිමි. හදිසියේම ඒ අහඹු අවස්තාව උදා විය. එක් උදෑසනක, මම පුස්තකාලයෙන් එළියට එනවිටම පහළ කොරිඩෝරයේ දෑත දෙපසට විසි කරමින් වේගයෙන් ඇවිදින ඔහුගේ රුව දිටිමි. වහා ක්‍රියාත්මක වූ මම පඩිපෙළ දිගේ පහළට දිව ගොස් ඔහු හඹා ගියෙමි.

“අයියා“

මගේ හඬට ඔහු නැවතී හැරී බැලුවෙන් මම ගමන ඉක්මන් කළෙමි. කෙතරම් වේගයෙන් ගියත් මම ඔහුට ළඟා වීමට පෙර ඔහුගේ සගයන් දෙදෙනෙක් කොහෙදෝ සිට පැමිණ ඔහු හා එක් වුයේ මගේ ඒ අවස්ථාවද අහිමි කරමිනි.

“හදිස්සියක් නෙවෙයි නේද නංගී?  පස්සෙ හම්බවෙමු.“

මම හිස වැනූවෙමි.

කලු කමිසය සුරැකිව මගේ මල්ලේ තිබියදී ඔහු සරසවියෙන් සමු ගත්තේය. එහෙත් ප්‍රබල ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයෙකු වූ ඔහු නිතර සරසවි බිමේ, මහවත්ත බස් රථවල, ගලහා හන්දියේ, මෙන්ම මහපාරේ ශිෂ්‍ය උද්ඝෝෂණ වලද දැකගත හැකි විය. එම අවස්ථා වල ඔහු හමුවට යාමට හෝ ඔහුගේ සමීපතමයෙකු හරහා ඔහු හමුවිමට වත් මගේ දුර්වල පෞරුෂය මට ඉඩ නොදුණි.

තවත් දිනෙක ඔහු මහවත්ත බස් රථයේදි හමුවී මගේ අසළින්ම වාඩිවුයේ මගේ පැතුම ඉටු කිරීමට මෙනි.

“නංගි නිතර දැකලා නම් තියෙනවා. මොකක්ද ෆැකල්ටි එක සයන්ස් ද?“

“ඔ ... ඔව් අයියා“

මම ගොත ගසමින් පිළිතුරු දුන්නෙමි. දැන් මගේ වාරයයි. ඒත් පටන් ගන්නේ කෙසේද?

“අයියට මතක ද? ....... මම ආව පළවෙනි දවසේ .... අයියා මාව රැග් එකෙන් බේර ගත්තා.“

මම ඉතාමත් අපහසුවෙන් හිතා මතා පිවිසීම ගතිමි.

“ඒ වගේ සිද්ධි ගොඩක් තියෙනවා. අපි ඇන්ටි රැගස්ලා නේ“

ඔහු සිනාසෙයි. මම බෑග් එකට අත දමා ඔහුගේ කමිසය සහිත පාර්සලය අතට ගතිමි. එම නැවතුමෙන් බසයට ගොඩ වුණ ගර්භනී මවකට සිය අසුන පිරිනැමූ ඔහු මටද අතවනා බසයේ ඉදිරියට ගියේ මගේ එම බලාපොරොත්තුව ද බිඳ දමමිනි.

වසර හතරක් මාත් සමඟ සරසවි ගිය කලු කමිසය මගේ සරසවි ගමන නිම වීමත් සමඟම මගේ ඇඳුම් අල්මාරියේ තැන්පත් විය.

තවත් හයමසක් පමණ හමුදා අණසක යටතේ නිවසේ ගතකළ මාහට, පියාගේ කැමැත්ත වූ ගුරු පත්වීමක් ලැබිණි.

මගේ ජීවිතයේ සියළු දේ තීරණය කළ මගේ පියා, තවත් වසරක් ඉක්මෙද්දී මගේ ජීවිතයේ ඊළඟ පියවරද තීරණය කරමින් මගේ විවාහය ද ඔහුට අවශ්‍ය පරිදි තීන්දු කළේය.  ඔහු ගන්නා හැම තීන්දුවකටම හිස නැමීමට පුරුදුව සිටි මම ඔහුගේ මෙම තීන්දුවට ද සුපුරුදු ලෙස කිසිම විරෝධයක් නොපා එකඟ වීමි.

විවාහයෙන් පසු මගේ සැමියාගේ නිවසට පදිංචියට යාමේ දී කලු කමිසය ද මා සමඟ පැමිණියේ කෙසේ දැයි මම නොදනිමි. මගේ නිවසින් රැගෙන ආ ඇඳුම් අතර මෙම කමිසයද තිබෙන්නට ඇත. බෑග් වලට ඇඳුම් ඇසුරූ මගේ ඥාති සොයුරියන් සියල්ල අසුරන්නට ඇත.

..........................................................................................................................................................

“හරි. පැය බාගේ ඉවරයි. දැන් කියමුකෝ කමිසේ කාගෙද කියලා“

යහනේ වාඩි වී ප්‍රශ්නගත කමිසය උකුලේ තබාගෙන අතීත ආවර්ජනයේ සිටි මම, ඔහුගේ හඬින් ගැස්සී හිස එසවූවෙමි. වසර හයකට ආසන්න කාලයක් මම ප්‍රවේශම් කළ කලු කමිසය ඔහුගේ අකාරුණික දෑතට හසුවී පොඩි වී ඇත. ඔහුගේ රළු වදන් හමුවේ මහත් කම්පනයට පත්ව සිටි මගේ දිව ද ගොළු වී ඇති සෙයකි.

දැනුම් තේරුම් ඇති දවසේ සිට පියාගේ රළු වදන් අසා පුරුදු මට මෙය අරුමයක් නොවුන ද, හඳුනාගත් දා සිටම ගැඹුරු හඬින් මුදු වදන් තෙපලන නමේ අරුතටම අරුතක් දෙමින් සෞම්‍ය වූ ඔහුගේ මුදු වදන් මෙසේ හිටි හැටියේම රළු වීම, දරා ගැනීම ඉතා අසීරු විය.

කුඩා කළ සිටම පිරිමියෙකුගේ රළු අණසකට යටවී සිටි මම පිරිමි ආදරයක් ලබන්න පටන් ගත්තා පමණි. ඒ ලතෙත් බවට ඒ ලයාදරයට හුරු වූවා පමණි. මගේ දෑසින් මටත් නොදැනිම කදුළු ගලා යන්නට විය.

“හොඳයි. කාගෙද කියලා කියන්න බැහැනේ. අයිතිකාරයෙක් නැති දෙයක් අපේ ගෙදර තියෙන්න බැහැ“

මගේ උකුලේ වූ කමිසය උදුරාගත් ඔහු එය ඇගිලි දෙකෙන් ඔසවා අනෙක් අතෙහි වූ ලයිටරය ක්‍රියාත්මක කළේය.

“ එපා සෞම්‍ය එපා.“

මම වහා පැන ඔහුගෙන් කමිසය උදුරාගෙන ලැමට තුරුළු කර ගතිමි. ඔහු විසල් කරගත් දෑසින් මාදෙස බලා සිටියේ විශ්මයෙනි.

“ මම ... කියන්නම්. ඔයාගෙ අනුමානය හරි. මේ ෂර්ට් එක .... රැඩිකල් පොරක්ගේ“

 “ඉතින් කියනවා හලෝ! තවත් මගෙ යකා අවුස්සන්නෙ නැතුව.“

“මේක ........  මේක ......... ඔයාගේ“

හිස බිමට නැඹුරු කරගත් මම හෙමිහිට මිමුණුවෙමි.

“මගේ ?“

“ඔව්...... ඔයාට මතකද? ...... කැම්පස් එකේ දී ...... කොල්ලො මට වතුර ගහලා රැග් කරන කොට..., මගේ සුදු බ්ලවුස් එක තෙමිලා ..... විනිවිද පෙනෙන කොට..., මම අඬ අඬා ඉද්දි.... ඔයා ඇවිත් කොල්ලන්ට බැනලා.., ඔයාගේ ෂර්ට් එක ගලවලා මාව වැහුවා. ඒ.... ඒ ...ෂර්ට් එක තමයි මේ.“

 මම හඬමින් මුමුණා ගතිමි.

හිස බිමට නැඹුරු කරගත් ඔහු කාමරයේ එහාට මෙහාට ඇවිදින්නට විය.

“ අනේ සොරි මැණික! මෙච්චරකල් පරිස්සම් කළාද ඒක. “

එක්වරම ඉදිරියට පැන මා තදින් වැළඳ ගනිමින් පැවසීය.

 

-නිමි-

No comments:

Post a Comment

ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)