Wednesday, June 3, 2026

මගෙ මැණික නුඹහට දෙමී

 දියණියේ නුඹ පෙම් බැඳී

දෙටු පුතුයි මා ගැබ පිරූ

මව් කිරුළ මා හිස රැදී

පැළඳු කුමරුයි ඒ පුතූ


පියෙන් පිය ඔසවා තබා

දසක තුනකුත් පහු කළා

හද විලෙහි නෙළුමක් වෙලා

පිපී තිබුනා එසවිලා


ඒ නෙළුම නුඹහට දෙමී

සුවඳ පමණක් මට ඇතී


ඔහු සුරත මා අත් හලේ

හිතින් අල්ලාගෙන දුවේ

මා සුරත ඔහු අත්හලේ

නුඹෙ දෑත ගන්නයි දුවේ


මා අසළ රැදෙමින් පුතූ

කුඩා කල සුරතල් වුනූ

මතක පොත් වල පිටු පිරූ

ඒ මතක හොඳටම ඇතී


මගෙ මැණික නුඹහට දෙමී

කදුළු සගවා හිනැහෙමී


හද විලෙහි කුසුමක් වෙලා

මුදු සඳක සිසිලක් වෙලා

හිදිනු මැන දියණියේ සැමදා

ඔහු දෙවොලෙ දෙව්ලිය වෙලා


ජීවිතේ මගෙ පණ පෙවූ

මගෙ මැණික නුඹහට දෙමී

දිවිගමන මගෙ දුර නැතී

මතක පමණක් මට ඇතී

No comments:

Post a Comment

ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)